දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර කේප්ටවුන් හී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව නිමාවීමත් සමග දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයෙන් හසීම් අම්ලා ඉල්ලා අස්විය. ඔහු නිල වශයෙන් නායකත්වයට සමුදෙන බව තරගයෙන් අනතුරව නිවේදනය කළේය.
‘‘ඇත්තටම මේ තීරණය ගැනීම මට පහසු එකක් වුණේ නැහැ. නමුත් මගේ මේ තීරණයෙන් පසුව මට කණ්ඩායම වෙනුවෙන් උපරිම වැඩ කිරීමට පහසුයි.”
”මම නායකත්වයේ සිටි කාලයේදි ගැඹුරින් කල්පනා කරමින් මගේ කණ්ඩායමේ සහෝදරයන් සහ පුහුණුකරුවන් සමග වැඩ කළා. ඉදිරියේදී සෑම ආකෘතියකම ක්‍රිකට් වලදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මගේ උපරිමය දෙන්න මේ තීරණයෙන් පසුව හැකිවෙයි” යනුවෙන් අම්ලා සමුගැනීමේ නිවේදනයේ සඳහන් කරයි.
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට සිටින දකුණු අප්‍රිකාව අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග පහෙන් හතරක්ම පරාජයට පත්විය. නමුත් අම්ලා සමුගත් මෙම තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් වාර්තා කරමින් දකුණු අපි‍්‍රකානු පිලට අත්විය හැකිව තිබූ දරුණු පරාජයකින් තම පිල බේරා ගත්තේය. ඒ සමගම දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් ද්විත්ව ශතක හතරක් ලබාගත් දෙවැන්නා බවටද ඔහු පත්විය.







