FAST NEWS

24×7 Around the Globe

යහපාලනය කඩාකප්පල් කරන මහා මොළකරු, සජිත් හෙළි කරයි.

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රටේ සියලු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීමට යහපාලන රජය දරණ වෑයම කඩාකප්පල් කිරීමේ “තුංමුල්ලේ කුමන්ත්‍රණය” පිටුපස සිටින මහ මොළකරුවා වන්නේ හිටපු ඇමති විමල් වීරවංශ මහතා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා හම්බන්තොට නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් 266ක් සඳහා රුපියල් ලක්ෂ 66ක් වටිනා සනීපාරක්ෂක උපකරණ හා මුල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

මෙම උත්සවය හම්බන්තොට නිම්බාරාම විහාරස්ථනයේදී පැවැත්විණ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

ජනවාරි මාසයේ 09 වැනිදා නව ව්‍යවස්ථාවක් ගෙන එමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත්කොට ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට වත්මන් රජය සැලසුම් දියත් කර තිබෙනවා. නමුත් රජයේ මෙම වෑයම පරාජය කරන්නට පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය වු කණ්ඩායම් මේවන විට කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. නව ව්‍යවස්ථාව මගින් රට බෙදෙනවා, රට විනාශය වෙනවා යැයි පවසමින් ඔවුන් වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සුක වෙනවා. ජනවරම දෙවාරයකදීම අහිමි වු පිරිසක් තමයි, ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්නට රජය දරණ මෙම උත්සහායට බාධා ගෙන එන්නේ. රට පුරා උද්ඝෝෂණ, වර්ජන, පාද යාත්‍රා දියත් කරමින් ඔවුන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණ දියත් කරනවා. ජනතාවාදි වැඩපිළිවෙළක් කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විනාශයේ තුංමුල්ලේ විමලේලා ඇතුළු පිරිසක් දියත් කරන මෙම කුමන්ත්‍රණය “තුංමුල්ලේ කුමන්ත්‍රණය” ලෙස මා හඳුන්වා දෙන්නට කැමතියි.