FAST NEWS

24×7 Around the Globe

දුම් පරීක්ෂණ ගාස්තු නැවත වරක් වැඩි වේ?

එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ධ සියයට 2 සිට සියයට 4 දක්වා වැඩි කිරීම සහ වැට් බද්දේ කෙරුණු සංශෝධන නිසා වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු නැවතවරක් වැඩි වී තිබෙනවා. ඒ, එම ගාස්තුව රුපියල් 1500 දක්වා වැඩි කිරීමට අයවැයෙන් කෙරුණු යෝජනාවට අමතරවයි.

මේ අනුව දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 15ත්, රුපියල් 55ත් අතර අගයකින් වැඩිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. යතුරුපැදියක දුම් පරීක්ෂණය සඳහා මෙතෙක් අය කෙරුණු ගාස්තුව රුපියල් 410ක් වූ අතර, එහි නව ගාස්තුව රුපියල් 425ක්. ත‍්‍රීරෝද රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 505 සිට රුපියල් 520 දක්වා වැඩි වනු ඇත.

මෝටර් රථ සඳහා දුම් පරීක්ෂණයට මෙතෙක් අය කෙරුණු ගාස්තුව රුපියල් 1100ක් වූ අතර දැන් එය රුපියල් 1130ක් වනවා. ද්විත්ව කාර්යය වාහනවල දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1190 සිට රුපියල් 1225 දක්වා ද ලොරි රථවල දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1550 සිට රුපියල් 1605 දක්වා ද වැඩි වීමට නියමිතයි. බස් රථ සඳහා මෙතෙක් අය කෙරුණු දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1010ක්. එය රුපියල් 1040 දක්වා වැඩි වනවා.

මේ අතර වාහනවල දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමට අයවැයෙන් කෙරුණු යෝජනාව කවදා සිට කි‍්‍රයාත්මක වන්නේදැයි මෙතෙක් දැනුම් දී නොමැති බවයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.