පාපන්දුවක් නිසා ඔබාමා සහ පුටින් අතර අවුලක්

පාපන්දුවක් නිසා ඔබාමා සහ පුටින් අතර අවුලක්

ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයේ (FIFA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මේ වන විට රුසියාව සහ අමෙරිකාව අතර ආරවුලක් බවට පත් වෙමින් ති‍බේ..

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනිය ඔස්සේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.

ඔහු පවසා ඇත්තේ, 2018 වසරේ FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවෙන් උදුරා ගැනීමට අමෙරිකාව උත්සහ දරන බව ය.

ඔවුන් තමන්ට අදාළ නොවන රටක එනම් ස්විට්සර්ලන්තයේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබීම අනවශ්‍ය අත පෙවීමක් බව ද පුටින් අවධාරණය කර තිබේ.

අත්අඩංගුවට ගැනුණු නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා දෙකක් යටතේ පරීක්ෂණ අරඹා තිබේ.

ඒ අනුව, 2018 සහ 2022 වසරවල පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කිරීමට නියමිත ය.

රුසියාවට සහ කටාර් රාජ්‍යයට එම වසරවල සත්කාරකත්වය පිරිනැමීම සඳහා අක්‍රමිකතා සිදු කර ඇති බවට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ, එම නිලධාරීන් අතරින් කිහිප දෙනෙකි.

1. Jeffrey Webb – අමෙරිකානු සහ කැරිබියානු කලාපයේ ප්‍රධානී.

2. Jack Warner – ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයේ හිටපු උප සභාපති.

3. Eduardo Li – කොස්ට රීකා පාපන්දු ප්‍රධානී (ඔහු ලබන සිකුරාදා FIFA විධායක කමිටුවේ වැඩ භාර ගැනීමට නියමිතව සිටියේය.)

4. Eugenio Figueredo – දකුණු අමෙරිකානු පාපන්දු සංගමයේ සභාපති.

5. Jose Maria Marin – FIFA පාපන්දු සංගම් කමිටුවේ සාමාජික.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයේ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන කාර්යාලයේදී ය.

ස්විට්සර්ලන්ත නීතීඥයින් පවසන්නේ, නිලධාරීන් 14 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව ය.