ලතින් ඇමරිකා සුරිරි සංගීත තරුවක් වන එන්රික් ඉග්ලෙසියාස්ගේ කොළඹ සංගීත ප්‍රසංගයේ දී රසිකාවියන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර හටගෙන ඇති මතබේදය, ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා විසින් සිදුකෙරුණු ප්‍රකාශයක් සමඟ විවාදාපන්න ස්වරූපයකට පෙරලී තිබේ.
එන්රිකේ ඉග්ලෙසියාස්ගේ Sex and Love ‘අසංවර’ සංගීත ප්‍රසංගයක් සේ ජනාධිපතිවරයා විසින් හෙලා දකිනු ලැබූ දිනට පසුදා සමාජ මාධ්‍ය සංවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ඍජුවම පවසා තිබුණේ ‘තනපට විසි කිරීම’ දේශපාලනීකරණය නොකරන ලෙසයි.
“තනපට සිද්ධියට දේශපාලනය ගාවා නොගන්නේ නම් මැනැවි. අපට කරදර වන්නට ඊට වඩා විශාල දේවල් තිබේ,” යැයි ආචාර්යවරයා සඳහන් කර තිබුණේ උත්ප්රාසාත්මක ඡායාරූපයක්ද සමඟිනි.
මෙම ප්‍රකාශය සමඟ ඔහු දෙසැම්බර් 28 දා මුහුණු පොතේ පළකර තිබුණේ, ජනාධිපතිවරයා සමඟ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී තමන් සහභාගි වූ නත්තල් උත්සවයක ඡායාරූපයකි.









