තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්‌ව සිටින කුසල් පෙරේරාගේ අදාළ තහනම අවම කර ගැනීම හෝ ඉන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිතයන් පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඉදිරි දින කිහිපය තුල ඩුබායි හිදී අදාළ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ක්‍රීඩාවට සම්බන්ධ නොවන අවස්‌ථාවකදී කෙසේ හෝ කුසල් පෙරේරාගේ ශරීරයට ඇතුළත් වූ තහනම් උත්තේජක සංඝටකයක් හේතුවෙන් ඔහු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
කෙසේ වෙතත් අදාළ තහනම් උත්තේජක සිදුවීම පිළිබඳව අයි.සී.සී. විනය කමිටුව සමග සාකච්ඡා කිරීමට කුසල් පෙරේරාටද අවස්‌ථාවක් ඇති අතර ඒ අනූව ඔවුන්ගෙන් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි කුසල් පෙරේරා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ අපේක්‍ෂාව වී තිබේ.
මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නිසි පරිදි නොගතහොත් කුසල් පෙරේරාට සිව් අවුරුදු ක්‍රිකට් තරග තහනමකට ලක්‌වීමේ අවදානමක් පවතී. නමුත් මෙවැනි සිදුවීම් වලදී නිවැරදි බව ඔප්පු කිරීම සඳහා ලොසෑන් නුවර ක්‍රීඩා සමථ මණ්‌ඩලයක්‌ද ස්‌ථාපිත කර තිබේ. ඒ හරහාද කුසල්ට සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමේ අවස්‌ථාවක් තිබේ.






