FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ක්‍රිකට් හා මැතිව්ස් ගැන අර්ජුන අනාවැකි කියයි.

නවසීලන්තය එරෙහිව දැන් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට මූලික වශයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද උදෑසන ක්‍රීඩා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

“පසුගිය අවුරුදු පහේම අපි කණ්ඩායමක් හැදුවේ නැහැ. අපි හැදුවේ ජාත්‍යන්තරය දිනන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් විතරයි. හැමදාම අංක තුනේ පිතිකරුවා සංගක්කාර. දිල්ශාන් ආරම්භක පිතිකරු. අංක හතර ස්ථානයේ ක්‍රීඩා කළේ මහේල. සංගක්කාර ලෝකේ හොඳම පිතිකරුවා වුණා. මහේලත් හොඳම පිතිකරුවා වුණා. දිල්ශානුත් හැදුවා. නමුත් අවසානයේදී කණ්ඩායමක් හැටියට අපි අසාර්ථක වුණා. තිරිමාන්න, චන්දිමාල්ලව විනාශ කළා. අද මේ තරුණ ක්‍රීඩකයින් ඉන්නේ ස්ථාවරත්වයක් නැතිව. මේ නිසා තමයි මම කියන්නේ අපි ක්‍රීඩකයෙක්ව පරිස්සම් කළා. නමුත් කණ්ඩායම පරිස්සම් කළේ නැහැ….” යැයිද අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකයකු ලෙස අනාගතයක් ඇති ක්‍රීඩකයෙකි. නමුත් ඔහුටද පසුගිය කාලේ නිවැරදි තීරණ ගැනීමට නොහැකි වූ බවද අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

“බලන්න තිරිමාන්න ටෙස්ට් තරග සංචාරයට ගෙනිච්චේ නැහැ. තිරිමාන්න කියන්නේ තාක්ෂණය අතින් ඉන්න හොඳම පිතිකරුවෙක්. නවසීලන්තය වගේ තැනකට අලුත් ක්‍රීඩකයින්ව ගෙනල්ලා මුහුදට තල්ලු කරනවාට වඩා, තිරිමාන්න වගේ ක්‍රීඩකයෙක්, තාක්ෂණය හොද, පළපුරුද්ද තියෙන ක්‍රීඩකයෙක් ගෙන ගියේ නැති එක ගැන ලොකු අඩුපාඩුවක් කියලා මම දකිනවා. ඒ කියන්නේ එතැන තේරීම්වල ලොකු අඩු පාඩුවක් තියෙනවා. අපිට තරග දිනන්න අමාරු නැහැ. ඒකට කණ්ඩායමක් තියෙන්න ඕන. මැතිව්ස් නායකයෙක් හැටියට පහුගිය කාලයේ ඉතාමත් දියුණු වුණු කෙනෙක්. ඔහු මටත් වැඩිය හොඳ නායකයෙක් වෙනවා කියලා මට විශ්වාසයි. මම දකිනවා ඔහු දැන් හොඳ තීරණ ගන්නවා. නමුත් පසුගිය කාලේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්නකොට ඔහුට තීරණ ගන්න අමාරු වුණා. අද ඔහු තීරණ ගන්න දක්ෂ නායකයෙක් බවට පත් වෙලා තියෙනවා. අද ලෝකේ ඉන්න හොදම නායකයෝ තුන් දෙනා අතරට මැතිව්ස් එනවා. ඒක අපිට ලොකු හයියක්. අපිට ලෝක කුසලානයක් දිනාගන්න හොඳ නායකයෙක් ඉන්න ඕන. ඉදිරියේදී අප කළ යුත්තේ හොඳ කණ්ඩායමක් හදා ගන්න එක. ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් උප සභාපති වුණාට පස්සේ පාසල් ක්‍රිකට් හදන්න මගේ ලොකුම බලාපොරොත්තුවක් තියෙනවා. ලෝක කුසලානය දිනන්න සැලසුමක් හදන්නත් මම අපේක්ෂා කරනවා…” යැයිද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.