ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා සමග වෙන වෙනම සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමග කළ සාකච්ඡාවලදී පක්ෂයේ මහජන නියෝජිතයින් වැඩි පිරිසක් පක්ෂයට සහය දැක්වීමට එකඟ වූ හෙයින් එම සාකච්ඡා ඉතා සාර්ථක බවද අමාත්‍යවරයා පැවසී ය.
එම සාකච්ඡාවන්ට සහභාගී වූ පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයෙකු අමාත්‍ය ධූර හෝ වෙනත් තනතුරු ඉල්ලා නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවලදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දෙන බව සඳහන් කළැයි දිසානායක මහතා අවධාරණය කළේය.
මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් පක්ෂයක් ලෙස එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.