FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා හා නවසීලන්ත තරගයට වෙනස්කම් රැසක්.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගය නවසීලන්ත ප‍්‍රබල පිතිකරු කේන් විලියම්සන් හට අහිමි වනු ඇති බවට වාර්තා පළ වනවා. ඒ, ඔහු පාදයේ ආබාදයකට ලක්වීම හේතුවෙන්. ඒ වෙනුවට නවක ක‍්‍රීඩක හෙන්රි නිකලොස් කැඳවනු ඇති බවටයි ක‍්‍රීඩා වාර්තාවල දැක්වෙන්නේ.

ලසිත් මාලිංගද නවසීලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට ක‍්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට බොහෝ දුරට තිසර පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති. දම්මික ප‍්‍රසාද් වෙනුවට සංචිතයට කැඳවූ නුවන් කුලසේකරද හෙට (26) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පිළ නියෝජනය කිරීමට නියමිතයි.

කුසල් ජනිත් පෙරේරා නවසීලන්ත සංචාරයට එක්නොවන බැවින් ආරම්භක පිතිකරු භූමිකාවේ වගකීම ලහිරු තිරිමාන්නට පැවරෙනු ඇති. නවක ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති බවටයි ක‍්‍රීඩා මාධ්‍ය අද (25) වාර්තා කළේ.

තරග 05 කින් යුත් නවසීලන්ත ශ‍්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා. ඒ, ශ‍්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට පමණයි.