FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා අත්අඩංගුවට නොගැනීම හා දෙමටගොඩ තරුණයාගේ කට උත්තරේ මෙන්න.

දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කෙරුණු පැහැර ගැනීම සදහා පාර්ලිමේන්තු මංත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩර් රථයක් යොදා ගෙන ඇති බවට තහවුරු වී ඇතත් මේ දක්වා ඇය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ආණ්ඩුවේම මැති ඇමතිවරු ප්‍රශ්නකරමින් සිටින බව පැවසේ.

ඇය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, මෙම සිද්ධියේ මූලික පරීක්ෂණ ආරම්භ වී ඇති බවත් ඒ අනුව ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් CCTV දර්ශන ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවතින බවත්ය.

යම් ආකාරයකින් මෙම සිද්ධියට ආධාර අනුබල දුන් අය පිළිබඳව සාක්ෂි සහිතව අනාවරණය වූවහොත් ඔවුන්ට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

මෙම පැහැර ගැනීම සිදුවන්නේ, දින 13කට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 – 1859 අංකය සහිත ඩිෆෙන්ඩර් රථයෙනි.

පුද්ගලයෙකු පැහැරගැනීමට අනුබල දීම, තර්ජනය කිරීම යන චෝදනා දෙක ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත මෙහිදී එල්ල වුවද, එකී චෝදනාවලට මෙතෙක් පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන නොමැත.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලයෙකු පැහැරගැනීමට අනුබල දීම හා පැහැරගත් පුද්ගලයාට තර්ජනය කිරීම වරදකි.

පැහැර ගැනීමට ලක්වු තරූණයා පොලීසීයට කළ ප්‍රකාශය –

“උඹ මේ මිනිස්‌සුන්ට කරදර කළොත් ලංකාවෙ කොහේ හිටියත් මම උඹව උස්‌සනවා. දැන ගනින් මම නීතිඥවරියක්‌” යෑයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට තර්ජනය කළ බව දෙමටගොඩදී පැහැර ගැනීමට ලක්‌වූ අමිල ප්‍රසංග අමරසිංහ මහතා පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදෙමින් පවසා ඇත.

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් ගිය ඇගේ ආරක්‍ෂක නිලධාරින් යෑයි කියා ගන්නා පිරිසක්‌ මෙම තරුණයා පැහැර ගනු ලැබුවේ ඉකුත් 21 වැනිදා සවස 2.15 ට පමණය.

පැහැරගැනීමට ලක්‌වූ තරුණයා දෙමටගොඩ පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදෙමින් මෙසේද කියා තිබේ.

”මම පදිංචිවෙලා ඉන්නේ මල්වත්ත ගොතටුවේ. මගේ බිරිඳ විදේශගතව රැකියාවක්‌ කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙමටගොඩ ලකීස්‌ටාර් වෙළෙඳසැලේ මම රැකියාවක්‌ කරනවා.

මීට මාස 6 කට විතර උඩදී තමයි මට චමිලව මුණ ගැහුණේ. ඒ ටවුන්හෝල් එකේදි. චමිලා මට ටෙලිෆෝන් නම්බර් එක දුන්නා. එයත් විවාහකයි. දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. අපි දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක්‌ ගොඩනැඟුණා.

එය මට නිතරම දුරකථනයෙන් කථා කරනවා. මමත් එහෙමයි.

මීට මාස දෙකතුනකට විතර උඩදී අපේ සම්බන්ධය චමිලගෙ මහත්තයට ආරංචි වුණා.

චමිලට නිතර නිතරම ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා. බැරිම තැන මම පහුගිය 19 වැනිදා එයාව මගේ ළඟට ගෙන්න ගත්තා. 20 වැනිදාත් එයා මාත් එක්‌ක හිටියා.

චමිලගෙ මහත්තයා හිරුණිකා මන්ත්‍රීතුමිය එක්‌ක බොහොම සමීපයි. එයාගෙ මැතිවරණ වැඩවලට ගොඩක්‌ උදව් කළා. මට ආරංචි වුණා චමිලාගෙ මහත්තයා මේ ප්‍රශ්නය හිරුණිකා මන්ත්‍රීතුමියට කිව්වා කියලා.

21 වැනිදා මම කඩේ වැඩකර කර සිටියා. ඒ වෙලාවේ තුන්දෙනෙක්‌ කඩේ ඇතුළට ආවා. ඇවිත් පොඩි ප්‍රශ්නයක්‌ කථා කරන්න තියනවා කියලා මාව කඩෙන් එළියට අරගෙන ගියා.

ඒ වෙලාවෙ චමිලගෙ මහත්තයත් එතනට ආවා. එතන හයදෙනෙක්‌ හිටියා ඒ අය එකපාරටම මාව ඇදගෙන ගිහින් කළුපාට ජීප් එකකට දා ගත්තා. ජීප් එකේදී ඒ අය මට හොඳටම ගැහුවා. මාව අරගෙන ගියේ කොළොන්නාවේ තියෙන හිරුණිකාගේ කාර්යාලයට. හිරුණිකා මන්ත්‍රිතුමිය ඒ කාර්යාලයේ මේසයක්‌ උඩ ඉඳගෙන හිටියා.

මාව දැක්‌ක ගමන් එයා ඇහුවා මූද මිනිහා කියලා. චමිලයි එයාගෙ මහත්තයයි එතන සිටියා. මන්ත්‍රි තුමිය එතනදී නඩු ඇහුවා. මට තර්ජනය කළා.

ආයෙත් ප්‍රශ්න ඇති කළොත් උඹව උස්‌සනවා කිව්වා. මට මේ පැත්ත පළාතේ ඉන්න එපා කියලා මාව පන්නලා දැම්මා.

මම දෙමටගොඩට ආවා. ඒ වෙනකොට කඩේ අයිතිකරු මාව පැහැරගෙන ගිය එක ගැන දෙමටගොඩ පොලිසියේ පැමිණිල්ලක්‌ කරලා තිබුණා. පස්‌සේ මම පොලිසියට ආවා” යෑයි පැහැරගැනීමට ලක්‌වූ තරුණයා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.