මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සැබෑ ඝාතකයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද යන්න සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ප්‍රකාශ ලබාදී අත්සන් ගැනීම සඳහා බලකර සිටීමෙන් එවැන්නක් ගැන සැක පළවන බව ඔහු කියා සිටියි.
උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සිද්ධියට අදාළව මේවන විටත් බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් ෂම්මි කරුණාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර් උපසේන, කෝප්‍රල් රූපසේන යන අය මේවන විට රැඳවුම් නියෝග මත රිමාන්ඩ් බාරයේ සිටින බව ඔහු සඳහන් කළේය.
ෂම්මි කරුණාරත්නගේ නියෝග මත එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සෙසු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමටත්, ෂම්මි කරුණාරත්න විසින් එකී නියෝග කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනය මගින් කළ දැනුම්දීමකට අනුව යයි ෂම්මිගෙන් ප්‍රකාශයක් ගැනීමටත් මොවුන් අපේක්ෂා කරන බව ගම්මන්පිල මහතා කියා සිටියේය.
එසේ වුවද මෙම බුද්ධි අංශ නිලධාරීන් පැහැරගත් බව කියන එක්නැලිගොඩ මහතා එකී නිලධාරීන් විසින් ඇස් දෙකෙන්වත් දැක නොමැති බව තමා ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ඔහු අවධාරණය කළේය.
කීර්තිමත් වීරවරයෙකු ලෙස නමක් දිනා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයට ආණ්ඩුව බියවී ඇති බැවින් ඔහුගේ චරිතය ඝාතනය කිරීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සැබෑ ඝාතකයා සැඟවීම ආණ්ඩුවේ අවශ්‍යතාව වී ඇතැයි හෙතෙම චෝදනා කළේය.
සෙසු බුද්ධි අංශ නිලධාරීන්ටද තමා වෙනුවෙන් සකස් කළ ප්‍රකාශයට අත්සන් තබා නිදහස් වන ලෙස බලපෑම් කරන බවත්, ඇතැම් නිලධාරීන්ට මත්පැන් පොවා ඊට අත්සන් කරන ලෙස පොළඹවා ඇති බවත්, තවත් විටෙක එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් බලපෑම් කොට ඔවුන් මගින් ස්වාමිපුරුෂයින්ට අත්සන් කරන ලෙස බලකිරීම් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.








