FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ තහනම් උත්තේජක හා තරග පවා දීම අතර සම්බන්ධයක්?

පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමට සලස්වා තරගයේ ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමට ලබාදීමට පියවර ගතහොත් ඇමෙරිකානු ඩොලර් 70,000ක මුදලක් ලබාදෙන බවට කුසල් ජනිත් සහ රංගන හේරත් වෙත බුකීකරුවකුගෙන් පැමිණි යෝජනාවක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගාකරී පිතිකරු කුසල් ජනිත් වෙත පළමුව පැමිණි මෙම යෝජනාව ඔහු විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙත ඉදිරිපත් කිරීමට අදාළ තැරැව්කරු පියවර ගෙන ඇත. පසුව ඔවුන් දෙදෙනා මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම පුවත පිළිබඳව අයි.සී.සී. යට දැනුම්දීමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ කුසල් ජනිත් තහනම් උත්තේජක ලබාගත්තා යැයි නැඟෙන චෝදනා සහ බුකීකරුවන් කුසල් ජනිත්ව තරග පාවාදීමට යොමුකරගැනීමට ගත් උත්සාහය අතර කිසියම් සම්බන්ධයක් තිබේද යන්න සැක සහිත බවයි. මෙම සිද්ධි දාමය පිළිබඳව විමසිලිමත්ව බැලීමේදී මුදලට තරග පාවාදීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා කුසල් ජනිත් ලබාගත් ආහාරයකට යම් තහනම් උත්තේජකයක් එක්කර හෝ පරීක්ෂණය සඳහා ලබාගත් මුත්‍රා සාම්පලයට යම් බලපෑමක් සිදුකළේද..? යන කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත. තවද අදාළ තරග පාවාදීමට ක්‍රීඩකයන් පොලඹවා ගැනීමට ගත් උත්සාහය පිටුපස ශ්‍රී ලාංකිකයකු සිටීද යන්න පිළිබඳවද පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බවද වාර්තා වේ.