FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ “බී” සාම්පල පරීක්ෂාවට දින නියම වෙයි – සාම්පලය රට යවයි.

තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ “බී” සාම්පල පරීක්ෂාව සඳහා ලබන සිකුරාදා (18දා) කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත අතර අදාළ “බී” සාම්පල පරීක්ෂාව ලබන 21දා (සඳුදා) එහිදී සිදුකිරීමට නියමිත බවද  වාර්තාවේ.

ලැබී ඇති ආරංචි මාර්ග අනුව කුසල් ජනිත් සහ ඔහුගේ නීතිඥ ඩිනාල් පිලිප් මහතා මෙම පරීක්ෂණය සිදුකරන කටාර් රාජ්‍යයේ පරීක්‍ෂණාගාරයේ වෙත යෑමට සූදානමින් සිටින අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඒ සඳහා මැදිහත් වීමට හැකියාවක් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු පැවසීය.

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට පෙර අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂාවකදී ඇනබොලික් ස්ටෙරොයිඩ් නම් තහනම් උත්තේජකය කුසල් ජනිත්ගේ මුත්‍රා සාම්පලයේ අඩංගු වී තිබූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් දැනුම්දීමෙන් අනතුරුව දැන් පැවැත්වෙන නවසීලන්ත සංචාරයට එක්ව සිටි කුසල් ජනිත් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

ඒ අනුව අයි.සී.සී ය විසින් සිදුකළ පරීක්ෂාවේ විශ්වසනීයත්වය උරගා බැලීම සඳහා චෝදනා ලද ක්‍රීඩකයා ඉදිරියේ හෝ ඔහුගේ නියෝජිතයන් ඉදිරියේ එම පරීක්ෂාව සිදුකළ මුත්‍රා සාම්පලයේම දෙවැනි කොටස නැවත පරීක්ෂාවට ලක්කිරීමට ක්‍රීඩකයාට හිමිවන අවස්ථාවට අනුව කුසල් ජනිත්ගේ “බී” සාම්පල පරීක්ෂාව ලබන 21 වැනිදා සිදුකිරීමට නියමිතව ඇත.