FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර වලට මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට අලුත්ම ක්‍රමයක්.

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සහ බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ‘බන්ධනාගාර නිල සුනඛ ඒකකයක්’ ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ සංකල්පයක් අනුව මේ වනවිටත් ඊට අදාළ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පෙන්වා දුන්නේ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වඩා වැදගත් වන බවයි.

සිරකරුවන්ගේ දෛනික භාවිතය සඳහා බන්ධනාගාර තුළට රහසින් රැගෙන යන්නේ ඉතා සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බවත්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් පාර්සල් ස්කෑනර් යන්ත්‍රවලට හසුවීමට ඇති ඉඩකඩ බොහෝ අල්ප වන හෙයින් ඒ සඳහා නිල සුනඛ ඒකකයක සහාය වැදගත් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය සුනඛයන් සපයා දීම සහ සුනඛ පුහුණුව සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට නුවර, අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය එකඟතාව පළ කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය’

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා අදාළ සුනඛයන් නෙදර්ලන්තය, හංගේරියාව වැනි යුරෝපා රටවලින් සහ ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන අතර, එසේ ආනයනය කළ සුනඛයන්ගෙන් ශ්‍රී ලංකාවේදී අභිජනනය කළ සුනඛයන් හා පැටවුන් 30කට අධික ප්‍රමාණයක් පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව සිටිති.