FAST NEWS

24×7 Around the Globe

2016 වර්ෂය ඔබට කොහොමද බලන්නකෝ.

මේෂ ලග්න හිමියන්ට

කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබා ගැන්මට පුද පූජා කිරීමද, කුජ ග්‍රහ ස්තෝත්‍ර භාවිත කිරීමෙන් ඊට අදාළ ග්‍රහ දේව පිහිටද ලබාගත හැකියි. සෙනසුරු 8 වැනි රාශියේ ගමන් ගැනීම නිසා සෙනසුරු ග්‍රහ ස්තෝත්‍රද භාවිත කළ යුතු වෙයි. සෙනසුරු අපල දුරුකර ගැන්මට විෂ්ණු දේව ස්තෝත්‍රද භාවිත කරන්න. මෙම ගයත්‍රියට අමතරව වෙනත් ස්තෝත්‍ර හා කන්නලව්ද භාවිත කරන්න. කුජ දෝෂවලට කොළොං ගස් ස්පර්ශ කර පැන් වත් කිරීමද සුදුසුය.

වෘෂභ ලග්න හිමියන්ට
පාර්වතී ස්තෝත්‍ර හා ලක්ෂ්මී ස්තෝත්‍ර ගායනා කරන්න. ශනි 7 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද ගායනා කළ යුතුය. සිකුරු ස්තෝත්‍ර ගායනා කිරීමෙන් ලග්න බලය වර්ධනය වෙයි.
පාර්වතී හෝ ලක්ෂ්මී රූපයකට පිච්ච මල් මාලා පලඳවන්න. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න. සිකුරු ස්තෝත්‍ර ගයන්න.

මිථුන ලග්න හිමියන්ට
බුධ ග්‍රහයා ලග්නාධිපති බැවින් විෂ්ණු ස්තෝත්‍ර කිරීම සුබ පල දෙයි. සෙනසුරු 6 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද භාවිත කරන්න. රාහු 4 ගමන් කරන බැවින් රාහු ස්තෝත්‍රද භාවිත කරන්න. ගණ දෙවි පූජා සහ ස්තෝත්‍ර කිරීමෙන් රාහු අපලයද දුරු වෙයි. කොහොඹ වෘක්ෂය ස්පර්ශ කර පැන් ඉසින්න. බුධ ග්‍රහයා අධිපති නිසා ඥානය බුද්ධිය වර්ධනයටත්, ව්‍යාපාර දියුණුවටත් බ්‍රහ්ම ස්තෝත්‍ර කියන්න.

කටක ලග්න හිමියන්ට
ශනි 5 රාශියේ ගමන් කරයි. චන්ද්‍රයා අධිපති ග්‍රහයාය. ශනි 5 නිසා උදරාබාධ සම්බන්ධ ආශි්‍රත රෝග පීඩා ආදිය ගෙනදෙයි.
චන්ද්‍ර ස්තෝත්‍රය කියන්න. ශනි 5 ගමන් කරන නිසා ශනි ස්තෝත්‍රයද කියන්න. දිඹුල් රුක්ෂ ස්පර්ශ කර පැන් ඉසින්න. මීට අමතරව බ්‍රහ්ම ස්තෝත්‍රයද භාවිත කරන්න.

සිංහ ලග්න හිමියන්ට
ශනි 4ද, කේතු සහ යුරේනස් මීන රාශිය හෙවත් 7 ගමන් ගැනීම නිසා අනතුරු, පාද රෝග ආදිය ඇති කරයි. ගුරු ලග්නයේ ගමන් ගනී. ආර්ථික අතින් යම් යම් අවහිරතා ඇති කරයි.
මේ අය රවි ස්තෝත්‍රද ශිව ස්තෝත්‍රද භාවිත කළ යුතුය. ඉඹුල් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කන්‍යා ලග්න හිමියන්ට
රාහු ලග්නයේද, කේතු යුරේනස් සමඟ 7 වැන්නේද ගමන් කරයි. මනස අවුල් වීම, අනතුරු, රෝග සහ පවුලේ සමඟිය අඩාල වීම් සිදුවෙයි.
ලග්නාධිපතිද බුධ බැවින් බුධ ස්තෝත්‍රය කියන්න. මිථුන ලග්නයට භාවිත බුධ ස්තෝත්‍රය ගැළපෙයි.
විෂ්ණු දෙවියන්ට පුද පූජා සහ ස්තෝත්‍ර කියන්න. තුල්සි පත්‍ර ගෝ තුල්සි මාල පුදන්න.
කොළොම් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

තුලා ලග්න හිමියන්ට
සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. ශනි දෙවැන්නෙහිද සහ යුරේනස් හය වැන්නේද ගමන් ගනී. රාහු 12 වැන්නේ ගමන් ගනී. ධන හානි, හතුරු බාධක හටගනී.
සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී යන දේවතාවියන්ට පුද පූජා ස්තෝත්‍රාදිය කියන්න.
ගණ දෙවි ස්තෝත්‍ර ගායනා කිරීම මඟින් රාහු අපල දුරු කරයි. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

වෘශ්චික ලග්න හිමියන්ට
කුජ අධිපති බැවින් කතරගම දෙවිඳුන්ට පුද පූජා තබා ස්තෝත්‍ර කියන්න. ශනි ලග්න රාශියේ ගමන් ගනී. රාහු 11 ගමන් ගනී. කේතු යුරේනස් 5 ගමන් ගනී.
උදර රෝග හට ගනී. වැය වැඩි වෙයි. කතරගම සහ විෂ්ණු දෙවිවරුන්ට පුද පූජා තබන්න. ශනි ස්තෝත්‍රද කීම ප්‍රයෝජනවත්ය. කොළොං ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

ධනු ලග්න හිමියන්ට
ධනු ලග්න හිමියාගේ අධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ශනි 12 රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. කේතු යුරේනස් හතරවැන්නේ ගමන් ගනී. පපුවේ ආබාධ, ධන හානි, වෘත්තීය බාධක ගෙනදෙයි.
ගුරු ග්‍රහ ස්තෝත්‍රය භාවිත කරන්න. ශිව ස්තෝත්‍රය සහ කතරගම ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. බෝ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මකර ලග්න හිමියන්ට
ශනි අධිපති ග්‍රහයා වන අතර ශනි 11 රාශියේ ගමන් ගනී. ගුරු 8 ගමන් ගනී. ශනි ගමන සුබය. දියුණුවට හා ලැබීම්වලට යහපත්. නමුත් ගුරු ගමන අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි. රෝග පීඩා ලේ දෝෂද හටගනී. සෙනසුරු රූපයක් තබා සෙනසුරු ස්තෝත්‍ර කියන්න. විෂ්ණු ස්තෝත්‍ර පුද පූජාද සුදුසුය. ගුරු 8 නිසා පත්තිනි පූජා සුදුසුය. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කුම්භ ලග්න හිමියන්ට
ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාය. ශනි 10 රාශියේ ගමන් ගනී. රැකියාවලට බාධා ගෙන දෙයි. ආදායම් අඩුවෙයි. උෂ්ණ රෝග හටගනී. විෂ්ණු ස්තෝත්‍රය භාවිත කර පූජා තබන්න. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මීන ලග්න හිමියන්ට
අධිපති ගුරු ග්‍රහයාය. මේ අයගේ කේතු පළමු වැන්නේත්, රාහු හත්වැන්නේත්, ගුරු හය වැන්නේත්ය. ගෘහ ජීවිතය තුළ ප්‍රශ්න පැන නඟී. ඇතැමුන්ට විවාහ ප්‍රමාද වෙයි. ශිව, කතරගම දේව පූජා සහ ස්තෝත්‍ර කරන්න. බෝ වෘක්ෂය ස්පර්ශ කරන්න. පැන් වත්කරන්න.