පාසල් සිසුන්ට වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ නිසා ඉන් පීඩාවට පත්ව ඇත්තේ අහිංසක මවුපියන් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
ලංකා ගුරු සේවා සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වවුචර් ක්‍රමය නිසා විදුහල්පතිවරුන්ට, මව්පියන්ට හා දරුවන්ට අනවශ්‍ය කරදරයක් සිදුව ඇති බවයි.
ආණ්ඩුවක් බලයට පත් කරන්නේ කරදර බලාපොරොත්තු නොවන බවත්, මෙම වැඩපිළිවෙළ නිසා වැඩිවශයෙන් පීඩාවට පත්ව ඇත්තේ එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන අහිංසක මව්පියන් බවත්, ඒ මහතා පෙන්වාදෙයි.
ජාතික හැඳුනුම්පත් නැති 10 වසරෙන් පහල ළමුන්ගේ මව්පියන්ට පාසලට පැමිණ එම වවුචර් පත් ගැනීමට සිදුවීම නිසා ඔවුන්ට එදිනෙදා කුලී වැඩකටවත් යාමට නොහැකි වී ඇති බව ඒ මහතා කියයි.
එජාපය කැමති හැමදාම වියදම අඩු කරන්න නමුත් රජයේ වියදම පොදු බදු ක්‍රමයක් මගින් අඩුකර සාමාන්‍ය ජනතාව මත බර පැටවීමෙන් වැළකිය යුතු බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
මාධ්‍ය හමුව ඇමතු ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ ඇතැම් පාසල්වල ප්‍රමාද වූ බවයි.
එම ප්‍රමාදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම වැඩපිළිවෙළ සැකසූවන් මිස විදුහල්පතිවරුන් නොවන බවත්, ඒ අනූව විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්, හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුව ඇමතු ස්වාධීන ලංකා ගුරු සංගමයේ ලේකම් සරත් කහගල්ල මහතා කියා සිටියේ මෙම වැඩපිළිවෙළ නිසා
වත්මන් යහපාලන ආණ්ඩුව අවුලෙන් අවුලට පත්වී ඇති බවයි.
වත්මන් අධ්‍යාපන ඇමති වෘත්තීය සමිති මුණ ගැසුණේ එක දිනක් පමණක් බවද එයින් අධ්‍යාපනයේ ගැටලු විසඳීමට ඇති උනන්දු පැහැදිලි වන බවත්, වවුචර් වැඩපිළිවෙළ වූ කලී සිසුන්ට දිවා ආහාරය ලබාදීම හා සමාන වනු ඇති බවත්, හෙතෙම කියා සිටියේය.