FAST NEWS

24×7 Around the Globe

තාජුඞීන් ඝාතනයේ සීසීටීවී වීඩියෝ දර්ශන ගැන අලුත්ම කථාව.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබුනේ ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට හමුවී ඇතිය යන කාරණාවයි.
මෙම මරණය ඝාතනයක් බව අධිකරණ වෛද්‍ය වාර්තා අනුව පැහැදිලි වීමෙන් පසුව ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය වෙත එළිදරව් කර සිටියේ අද හෙටම එම සීසීටීවී වීඩියෝ පට එළි දකින බවත් ඒවායේ මිනීමරුවන්ගේ දර්ශන හා එයට සම්බන්ධ ප‍්‍රභූ පවුලේ අයගේ දර්ශනද දකින්නට හැකිවුනු ඇති බවකි.
කෙසේ වෙතත් දැන් වාර්තා වන්නේ
එකී සීසීටීවී වීඩියෝ පටිගතවීම් මැකී ඇති බවයි.
2012 වර්ෂයේදී සිදුවූ තාජුඞීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට ගැන ඒ කාලයේ පරීක්ෂණයක් නොකර තිබුනේ එය මිනීමැරුමක් නොව හදිසි අනතුරක් ලෙස දක්වා ෆයිල් යට ගැසීම නිසාය. කොළඹ නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක් තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක් තුළදී මකා දමන බවද පොලිස් මූලස්ථානය කියා සිටියි.

ඒ අනුව යමින් මෙම වීඩියෝ පටිගතවීම්ද මකා දමා ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත. එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට හැකිවේද යන්න ගැටලූ සහගත බවත් ඒ සඳහා පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටින බවත් මේ වනවිට වාර්තා වනවා.

මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීම නිසා මෙම තත්වය උද්ගතවී ඇත.

බලපෑම් ඇතිවීම නිසාදෝ මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්ෂණයක් සිදු කර නොතිබුණ අතර මේ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ගැටලූ රැුසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.එය හැකිවේදැයි සැකසහිත බව කියැවේ.