FAST NEWS

24×7 Around the Globe

ලංකාව ලෝකයෙන්ම 8වැනි තැන දිනා ගනී.

මිනිස්කමේ පරිත්‍යාගශීලී ගුණාංග මත ලෝකයේ ජාතීන් වර්ගීකරණය කරන ‘සීඒඑෆ්’ දර්ශකයේ අලූත්ම 2015 වාර්තාව අනුව ලෝකයේ රටවල් 145 ක් අතුරින් 8 වන තැන ශ‍්‍රී ලංකාවට හිමිවී ඇත.
ආගන්තුක සත්කාරය, ස්වේච්ඡා සේවයට ඇති ළැදියාව හා ධන පරිත්‍යාගය යන ගුණාංග මත මෙම දර්ශකය ගණනය කර තිබේ.
මෙවර දර්ශකයේ පළමු තැන බෞද්ධ රටක් වන මියන්මාරයට හිමිව තිබීමද විශේෂත්වයකි.
පිළිවෙලින් ඇමරිකාව, නවසීලන්තය,කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය හා නෙදර්ලන්තය දෙවැනි තැන සිට 7 වන තැන දක්වා සිටින අතර ශ‍්‍රී ලංකාව එහි 8 වන තැන හිමිකරගෙන ඇත.
‘චැරිටීස් එයිඞ් ෆවුන්ඬේෂන්’ නමැති අන්තර්ජාතික සංවිධානය මගින් මෙම දර්ශකය වාර්ෂිකව ප‍්‍රසිද්ධ කරන අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන සඳහා
ලෝකයේ ආධාර වැඩසටහන් සකස්කිරීමේදී ප‍්‍රයෝජනය පිණිස එහි තොරතුරු වැදගත් කොට සලකයි.
මෙම වාර්තාව සකස් කිරීමට ලෝකයේ රටවල් 145 ක් සමීක්ෂණයට ලක්කළ බවත් ආසන්න වශයෙන් ලෝකයේ විවිධ රටවල ජනගහනයෙන් සියයට 95 ක් නියැදි සඳහා නියෝජනයවූ බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ධන පරිත්‍යාග බහුල වශයෙන් සිදු කරන්නට හැකි රටවල් අභිබවමින් ආගමික හා සංස්කෘතික පදනමින් පරිත්‍යාගශීලී ගුණය බලවත් රටවල් මෙම දර්ශකයේදී ඉහළට ආ බවද සමීක්ෂණ වාර්තාවේ සටහන් කොට ඇත.
මෙම ලැයිස්තුව අනුව ශ‍්‍රී ලාංකිකයින් වැඩිපුරම ලකුණු රැස්කර ඇත්තේ තමන්ගේ කාලය අන්‍යයන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපකිරීමේ ගුණය ඇති ලෝක ජාතීන් අතරින් දෙවැනියාවූ නිසාය.එම ගුණයෙන් මුල්තැන මියන්මාරයටය.