FAST NEWS

24×7 Around the Globe

සංගාගේ ඩයිනමයිට්ස් ඩිල්ෂාන්ගේ වයිකින්ස් පාරාජය කරයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස චිතගොං වයිකින්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර මිර්පූර්හි  බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ  (26 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කී‍්‍රඩකයෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශද්මන් ඉස්ලාම් පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවෝ 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දැවීයාම ඔවුන්ට විශාල පාඩුවක් විය. වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඉනිම නිමා වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නයීම් ඉස්ලාම්, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැුස්කළේ පන්දු 38 කට මුහුණ දෙමිනි.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබා සිටියදී මුෂාරෆ් හුසේන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නසීර් හුසේන් ලකුණු 12 කට කඩුලූ 3 ක්ද, මුස්තාෆිසුර් රෙහෙමාන් ලකුණු 14 කට කඩුලූ 3 ක්ද දවාගත්හ.

චිතගොං වයිකින්ස් කණ්ඩායම –  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 92
(තිලකරත්න ඩිල්ෂාන් 20, යසිර් අලී 14, නයීම් ඉස්ලාම් 29, නසීර් හුසේන් 12/3, මුස්තාෆිසුර් රෙහෙමාන් 14/3)

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 17.1 කදී කඩුලූ 4 ක් දැවී 96
(ශයිකත් අලී 23, ශද්මන් ඉස්ලාම් 45, නයීම් ඉස්ලාම් 7/3)