යුක්රේනයේ පළාත් 4 ක් නිල වශයෙන් රුසියාවට ඈඳා ගැනේ

යුක්රේනයේ පළාත් 4 ක් නිල වශයෙන් රුසියාවට ඈඳා ගැනේ

(ෆාස්ට් නිව්ස් |මොස්කෝ) – රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වනවා.

මොස්කව් අගනුවර රතු චතුරස්‍රයේ ඉදිකළ දැවැන්ත වේදිකාවේ සිට ජනාධිපති පුටින් රුසියාවේ වේලාවෙන් අද (30) සවස 3 ට මෙම නිවේදනය කරනු ඇත.

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් රුසියාවට එක් කර ගැනෙනවා.

එම පළාත්වල ජීවත් වන රුසියන් බස කතා කරන රුසියන් හිතවාදින් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිව රුසියන් හමුදා ලුහාන්ස්ක්, ඩොනෙස්ක්, සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් අත්පත කර ගනු ලැබුවා.

රුසියාව සමඟ එක් වීමට කැමැත්ත විමසමින් ඉන්පසු පසුගිය දා මෙම පළාත්වල ජනමත විමසුම් පවත්වා තිබෙනවා.

එහිදී වැඩි දෙනා රුසියාව සමඟ එක් වීමට කැමැති බවට මනාප පල කොට ඇත.

යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ද 2014 වසරේ සිට පවතින්නේ රුසියාව යටතේ වන අතර රුසියානු ජනාධිපති පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදා ක්‍රිමියා අර්ධද්වීපය ද අත්පත් කරගත්තේ ද මේ අයුරින්ම හමුදා ආක්‍රමණයකින් පසු ජනමත විමසුමක් පවත්වමින්.