FAST NEWS

24×7 Around the Globe

ආසියාව ජයගත් නෙට්බෝල් ශූරියන් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 ආසියානු නෙට්බෝල් ශූරතාව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියේ ය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් කිරුළ දිනා ගත්තේ ය.

අවසන් තරගයේදී ඔවුන් පරාජය කරනු ලැබුවේ, සත්කාරක සිංගප්පූරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු නෙට්බෝල් ශූරතාවලිය අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ආසියානු කලාපයේ ප්‍රබලතම නෙට්බෝල් කණ්ඩායම බවට 6 වැනි වරටත් පසක් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගාවලියේ දැක් වූ දක්ෂතා අනුව දකුණු අප්‍රිකාවේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියටද සුදුසුකම් ලබා අවසන් ය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේතුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සාමාජිකාවන් රැසක් මෙන්ම ක්‍රීඩා ලෝලින් රැසක් එක්ව සිටියහ.