හාල් මිල බහි

හාල් මිල බහි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහල් මිල අඩුවී තිබෙන බව මරදගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසීය.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද සහල් මේ වනවිට වෙළෙඳපොළේ අඩු මිලට අලෙවි කෙරෙන බැවින් දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇතැයි ද ඔහු කීවේය.

දේශීය හොඳ තත්ත්වයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 225කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 215කටද අලෙවි කෙරෙන බව සභාපතිවරයා පැවැසුවේය. පෞද්ගලික වී මෝල් හිමියන් නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 120 බැගින්ද, සියයට 18ක පමණ තත්ත්වයෙන් තිබෙන තෙත වී කිලෝවක් රුපියල් 100 බැගින්ද මිලදී ගන්නා බව ඔහු කීවේය.

ඉදිරියේදී සහල් මිල වැඩිවීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර වශයෙන් ලැබුණු සහල් බෙදාහැරීමට නොහැකි තරමටම රට තුළ තිබෙන බවත් කී හෙතෙම ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී තොග තවමත් වෙළෙඳපොළේ පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය සියලුම රසායනික පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, ඒ අනුව කටයුතු සිදුවුවහොත් ඉදිරියේදී කිසිසේත්ම සහල් ගැටලුවක් උද්ගත නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.