අවසන් තරගයේ ඔස්ට්‍රේලියාව – කුසලානය ශ්‍රී ලංකාවට

අවසන් තරගයේ ඔස්ට්‍රේලියාව – කුසලානය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24) පැවති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

එසේ වුවද තරග 5කින් සමන්විත තරගාවලිය තරග 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් වසර 30කට පසු සටහන් වීම මෙහි ඇති විශේෂත්වය වේ. ප්‍රේමදාස පිටිය අතුරු සිදුරු නැතිව පිරීගොස් සිටි අතර, බහුතර ප්‍රේක්ෂකයෝ ඔස්ට්‍රේලියා පිලට කෘතවේදීත්වය පළ කිරීමේ අටියෙන් කහ වර්ණයෙන් සැරසී සිටියහ.

ශ්‍රී ලංකාවාසීන් අර්බුදකාරී තත්ත්වයක සිටිද්දී මෙරට සංචාරය කිරීමෙන් දුන් ධෛර්යය හා මතුව ඇත අර්බුදයට විසඳුම් ලෙස මානුෂීය ආධාර හා මූල්‍ය ආධාර දෙන ලෙසට අන්තර්ජාතික සංවිධානවලට විවිධ පණිවිඩ නිකුත් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් ඉදිරිපත් වීම හේතුවෙන් ඔවුන් කෙරෙහි විශාල ගෞරවයක් හටගෙන ඇත.

එහෙයින් ‘ස්තූතියි ඔස්ට්‍රේලියා’ යනුවෙන් සඳහන් වූ බැනර් හා පුවරු ක්‍රීඩා පිටියේ සතර අත ප්‍රදර්ශනය කිරීමට ක්‍රීඩා ලෝලීහු අමතක නොකළහ. එමෙන්ම අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳ නරඹන්නන් විශාල ගෞරවයක් පළ කිරීම ද කැපී පෙනිණි.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඕවර 43.1කදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කළ අතර, ඉලක්කය පහසු වුවද කැන්ගරුවෝ ඕවර 39.3කදී කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 164ක් ගෙන හිස ඔසවා ගත්හ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ පන්දු කැරකැවීම මත කඩුලු රැකගනිමින් ලකුණු වේගය තබා ගැනීමට ඔස්ට්‍රේලියා පිතිකරුවන් සංයමයෙන් කටයුතු කළද එම ගමන් මඟ කණ්ඩායම් දෙකටම වරින් වර දෝලනය වෙමින් ගමන් කළහ.

පන්දු 63ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව ජය වාර්තාකරද්දී වෙහෙසකර හා තැනට ඔබින ඉනිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් කේරී පන්දු 65කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 45ක් රැස් කර සිටි අතර, අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස කේරීට අනගි සහායක් දුන් කැමරුන් ග්‍රීන් එල්ල කළ ජයග්‍රාහී හයේ පහර හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 25ක් රැස් කර සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණ ආකාරයෙන්ම ඔස්ට්‍රේලියාවේ මුල් කඩුලු තුන ලකුණු 19කට බිඳ වැටී තිබියදී පිටියේ එක් වූ මිචෙල් මාෂ් හා මානස් ලබුෂේන් සිව්වැනි කඩුල්ලට පන්දු 57කදී ලකුණු 31ක් ගොඩනැඟීම ජයග්‍රහණයට මුල්ම අඩිතාලම විය. මාෂ් ලකුණු 24ක් ලබා සිටියදී මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවකට ‘ඩීප් කවර්’ වෙතට දුන් උඩ පන්දුව පැතුම් නිස්සංක රැක ගැනීමෙන් ක්‍රීඩාගාරයට ගියේය.

අනතුරුව ලබුෂේන් සමඟ එක් වූ ඇලෙක්ස් කේරී පස්වැනි කඩුල්ලට පන්දු 79කදී ලකුණු 51ක් රැස් කළ අතර, ලබුෂේන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත් වෙල්ලාලගේ තරගය ශ්‍රී ලංකාව දෙසට යොමු කළේය. පන්දු 17කදී ලකුණු 16ක් රැස් කර සිටි ඔස්ට්‍රේලියාවේ භයානක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල කෙළින්ම බිඳ දැමූ වෙල්ලාලගේ ඔස්ට්‍රේලියාවට තවත් පීඩනය වැඩි කළේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකරුවෝ දුර්වල වෙද්දී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික කරුණාරත්න ආදර්ශවත් පිතිකරණයක නිරත වෙම්න් පන්දු 75කදී හයේ 2ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 75ක් රැස් කිරීම දිනයේ විශේෂත්වයක් විය. 43 වැනි ඕවරය යැවූ මානස් ලබුෂේන්ගේ පළමු පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ චාමික එම ඕවරයේ තෙවැනි පන්දුවට ‘ඩීප් මිඩ්විකට්’ හරහා දෙවැනි හයේ පහර එල්ල කළේ දැවැන්ත පහරවල් දැක බලා ගැනීමේ ආශාවෙන් සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. තරගයේ වීරයා සම්මානය දිනාගත් චාමිකගේ එක්දින ක්‍රිකට් දිවියෙහි මංගල අර්ධ ශතකය ඊයේ වාර්තා වූ අතර, මෙයට පෙර ඉන්දියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 44 ඔහුගේ හොඳම ඉනිම ලෙස සටහන් විය.

චාමික කරුණාරත්න හා එක් වූ ප්‍රමෝද් මදුෂාන් 9 වැනි කඩුල්ලට පන්දු 101කදී ලකුණු 58ක සබඳතාව නොවන්නට ශ්‍රී ලංකා පිල අසීරුම අඩියකට වැටෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ ලකුණු ලබා නොදුන් ඕවර 5ක් යැවූ අතර ලකුණු 1 බැගින් දුන් ඕවර 5ක් යවමින් ශ්‍රී ලංකාවට එරෙහි පීඩනය දැඩි කළහ. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3ක් ලකුණු 56කට දැවී ගොස් තිබීමෙන් අනතුරුව යැවූ පන්දු හතක් තුළ පිතිකරුවන් 4ක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ලකුණු පුවරුව 58ක් වෙද්දී තෙවැනි කඩුල්ලට චරිත් අසලංකගේ දුවද්දී දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භය විය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 8කට හා පැතුම් නිශ්ශංක ලකුණු 2කට දැවී යෑමෙන් අනතුරුව, දිනේෂ් චන්දිමාල් ද ලකුණු 6ක දැවී ගොස් තිබියදී අසලංක දැවී ගිය පිතිකරුවන් අතරට එක් විය. චරිත්ගේ දැවී යෑමත් සමඟ කුසල් මෙන්ඩිස් (ලකුණු 14), දුනිත් වෙල්ලාලගේ (ලකුණු 4) හා දසුන් ශානක (ලකුණු 1) ළඟ ළඟ දැවී ගියහ. මේ තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් 2017න් පසු ක්‍රීඩා කළ තරග 29කදී රැස් කර ඇත්තේ අර්ධ ශතක 4ක් පමණි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු ගණනකට ක්‍රීඩාගාරයට යැවූ හෙසල්වුඩ් මෙන්ම මැතිව් කුනේමන් හා පැට් කමීන්ස් කඩුලු 2 බැගින් බිඳ දැමූ අතර, මැක්ස්වෙල් හා ග්‍රීන් කඩුල්ල බැගින් බිඳ හෙළුෑහ.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් තුනක් සිදු කර තිබූ අතර, හම්බන්තොට තේරිපුත්ථ මධ්‍ය මහා විදුහලෙන් බිහි වූ දකුණත් මඳ වේග පන්දු යවන ප්‍රමෝද් මදුෂාන් ලියනගේ එක්දින වරම් දිනා කණ්ඩායමට එක් වූ අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් කැඳවා තිබිණි. මේ තිදෙනා එක් වූයේ සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග වෙනුවෙනි.