ශ්‍රීලංකන් ගුවන් සමාගම සංචාරක නියෝජිත අන්තර්ජාල ද්වාරයක් හඳුන්වා දෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සංචාරක නියෝජිත අන්තර්ජාල ද්වාරයක් හඳුන්වා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම සංචාරක නියෝජිතයින්ට අත්‍යවශ්‍ය විවිධ මාතෘකා පිළිබඳ සවිස්තරාත්මක සහ යාවත්කාලීන තොරතුරු ලබාදීම වෙනුවෙන් අන්තර්ජාල ද්වාරයක් (Travel Agents Portal) හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.

පසුගියදා කොළඹ දී පැවැත්වූ සංචාරක නියෝජිතයින්ගේ ඇගයීම් සම්මාන උළෙලේ දී මෙය දියත් කරන ලදී.

ශ්‍රීලංකන් විකුණුම් කණ්ඩාය‍මේ (Sales team) සංකල්පයක් වන මෙම අන්තර්ජාල ද්වාරය ආරම්භ කරන ලද්දේ සංචාරක නියෝජිතායතන නිවැරදිව ස්ථානගත කිරීම සහ සංචාරක වෙළඳාමට ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීම සඳහාය.
ශ්‍රීලංකන් විකුණුම් කණ්ඩායම ඔවුන්ගේ සංකල්පය යථාර්ථයක් කර ගැනීමට ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරන ලදී.

අන්තර්ජාල ද්වාරය සම්පූරණයෙන්ම අභ්‍යන්තරව නිර්මාණය කර සංවර්ධනය කර තිබේ.

එයට පිවිසීමට ජංගම දුරකතනය භාවිත කළ හැකි අතර පහසුවෙන් පරිශීලක අත්දැකීම් ලබාගැනීමට හැකි වේ. කොව්ඩ් වසංගතය සංචාරක කර්මාන්තයේ විවිධ වෙනස් වීම් ඇති කළ අතර දේශීය හා ජාත්‍යන්තර බලධාරීන් විසින් නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළුව නිරන්තරයෙන් වෙනස් වන තොරතුරු මත රැඳී සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

මෙම අන්තර්ජාල ද්වාරය සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර ප්‍රවර්ධන, COVID-19 සීමා කිරීම්, චක්‍රලේඛ, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, නිෂ්පාදන යන අංශ පහක් යටතේ විවිධ මූලාශ්‍රවලින් තොරතුරු සැපයීම සිදුකරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර කලාපයේ කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා මෙසේ පැවසීය. “ඕනෑම අර්බුදයක් කළමනාකරණය කිරීම සඳහා සන්නිවේදනය තමයි ප්‍රධාන වන්නේ. වසංගතය අතරතුර සංචාරක සීමා කිරීම් සහ ඒ ආශ්‍රිත විමසුම් පිළිබඳව පැයකට වරක් අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කිරීමට අප කටයුතු කරනවා. පුළුල් තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය ඉතා වැදගත් බව අප අවබෝධ කර ගත්තා. මෙම සංචාරක නියෝජිත අන්තර්ජාල ද්වාරය අපගේ කණ්ඩායමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට උපකාරී වනු ඇත”. යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Classic Travels හි කළමනාකාර අධ්‍යක්ෂ, සබ්රි බහුඩීන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් නියෝජිත ඇගයීම් සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ගුවන් සේවයේ හොඳම නියෝජිතයින් දස දෙනාට ගෞරව පුද කිරීමත් අන්තර්ජාල ද්වාරය එළිදැක්වීමත් සංචාරක ආයතනවල පැසසුමට ලක්වුණා. මෙය ජාතික ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන ලද ඉතා වැදගත් සහ කාලීන මුලපිරීමක් වන අතර එය කර්මාන්තයට ඉමහත් උපකාරයක් වනු ඇත.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Traveler Global හි සභාපති රිස්මි රියල් මහතා, “මෙම නිෂ්පාදනය දැකීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා, එය විවිධ පාරිභෝගික ස්පර්ශක ස්ථානවලදී බොහෝ ගැටලු විසඳන අතර මගීන්ට සුමට ගමන් මාර්ගයක් සහතික කරයි.”
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා “ මෙම සංචාරක නියෝජිත ද්වාරය අපගේ කර්මාන්තය තුළ තොරතුරු හුවමාරු කරගැනීමට ඉතා වැදගත් වනු ඇත. ඉල්ලුම මත සම්පූර්ණ තොරතුරු සඳහා ප්‍රවේශය තිබීම අද අත්‍යවශ්‍ය දෙයක් වන අතර, මෙම ද්වාරය සංචාරක නියෝජිතයින්ට ඔවුන්ගේ රාජකාරි වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීමට සහ අපගේ මගීන් සඳහා සේවාව පුළුල් කිරීමට හැකි වනු ඇත. ”

මෙම නියෝජිත ඇගයීම් සම්මාන උළෙලේ දී දියමන්ති සම්මානය Classic Travels දිනාගත් අතර ප්ලැටිනම් සම්මානය 2nd Chance Travels සහ රන් සම්මානය Metro Travels දිනාගන්නා ලදී. තවද රිදී සම්මානය Crazy Jets සහ Blue Award The Traveler Global දිනාගන්නා ලදී.

සම්මාන ප්‍රධානය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීමේ ප්‍රධානී සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර කළාපයේ කළමනාකරු සහභාගී වූහ.

 

COMMENTS

Wordpress (0)