පුතා කෝච්චියෙන් වැටී රෝහලේ කියා කෝල් එකක් ආවා – සාගරිකා දුම්රියෙන් ඇද වැටී මිය ගිය තරුණයාගේ මව හැඬූ කඳුළින් කියයි

පුතා කෝච්චියෙන් වැටී රෝහලේ කියා කෝල් එකක් ආවා – සාගරිකා දුම්රියෙන් ඇද වැටී මිය ගිය තරුණයාගේ මව හැඬූ කඳුළින් කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දික්වැල්ල, වැවුරුකන්නල ගම්මානයම කම්පනයට පත්ව ඇත්තේය. සඳරු රූසර විතානගේ එතරම්ම ගම්මුන්ගේ නෙත ගැටෙන 23 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. ඉකුත් 17 වැනිදා රාත්‍රිය සඳරුගේ ජිවිතය තීරණාත්මක දවසක් වනු ඇතැයි කිසිවකුත් නොසිතන්නට ඇත.අවාසනාවන්ත ලෙස සාගරිකා දුම්රියට ඔහුගේ ජිවිතය බිලිගෙනය. සදරු ගේ මවගේද දෙනෙතින් කඳුලු දෝරගලායන්නේය. ඇය 43 හැවිරිදි වියේ පසුවන නිමාලි චම්පිකායි. ඇගේ හඬ මෙසේ දොංකාර දෙන්නේය.

අම්මේ අද කෝච්චිය පරක්කුයි. මම සාගරිකා එකේ එනවා කියා මගේ පුතා කිව්වා.උදේ හවස වැඩට යන්නේ කෝච්චියෙන්.උදේ 7.30 ට ගෙදරින් යනවා. මේ සිද්ධිය වෙන්න කලින් අවස්ථා කිහිපයකදීම මට කතා කළා. අනේ සාගරිකා කොච්චියේ පුතා එනකන් අපි බලාගෙන හිටියා.රාත්‍රී 10.30 විතර කෝල් එකක් ආවා.පුතා කොච්චියෙන් වැටි තුවාල වෙලා මාතර රෝහලට ඇතුළත් කළා කියලා.මගේ මහත්තයාට කෝල් එකක් ආවා. අපි රෝහලට ගියා.ඒ වන විටත් මගේ පුතා නැති වෙලා.නිමාලිට වචන ගලා එන්නේ නැත.ගලා එන්නේ කඳුළු අතුරින් හැගුම්බර දරාගත නොහැකි වේදනාවක් බව අමුතුවෙන්ම කිව යුතු නොවේ.

සදරු මාතර එල්.බී.ෆිනෑන්ස් ආයතනයේ සේවය කරයි.ඔහු ගමට මෙන්ම ආයතනයටද ප්‍රියමනාපය.වෙනදා බස්රථයෙන් සේවා ස්ථානයට ගියද පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සදරු ද පසුගිය කාලයේම කාර්යාලයට පැමිණිමේ ප්‍රවාහන සේවාව බවට පත්වූයේ දුම්රියයි.මේ අවාසනාවන්ත රාත්‍රියේද බංකුවක් මතවාඩිවී සිටි සදරු බස්රථයෙන් ගෙදර යන්නට දුම්රිය ස්ථානයෙන් පිටව ගියේය.එහෙත් දුම්රිය එන ශබ්දය ඇසී නැවතත් දුම්රිය ස්ථාන පැමිණියේය. පැය දෙකකටත් වඩා ප්‍රමාද වූ සාගරිකා දුම්රිය මාතර දුම්රිය ස්ථානයට ළඟා වූයේය.සෙනග පිරි තිබූ සාගරිකා දුම්රියට අපහසුවෙන් පිටත්වන දුම්රියෙහි එල්ලුනේය.එහෙත් සදරුගේ සපත්තුව හෝ පැටලුනා විය හැකිය.ඔහු ඇද වැටුනේය. එසේ වැටුනේ දුම්රිය වේදිකාව හා දුම්රිය මාර්ගයටය.අනතුරුව පැයකට ආසන්න කාලයක් මේ මෙහෙයුමක් දියත් වූයේය. මේ තරුණයාගේ ජිවිතය ගලවාගන්නට වෙරදැරු රතුකුරුස සමාජයේ මාතර ශාඛා විධායක සංහද ධනංජය සිය අත්දැකීම මෙසේ විස්තර කළේය.

මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්.මා දැක්කා සදරු දුවගෙන එනවා.ඉන් පසුව සෙනග කෑගැහුවා දුම්රිය නවත්වන්න කියලා. පළමුව එයා දුම්රිය මාර්ගයට වැටුනම ගාර්ඩ් කෑගහල කිව්වා හෙලවෙන්නේ නැතිව ඉන්න කියලා. නමුත් කකුල වැදිල දුම්රියට යටවුණා.ඒවන විටත් කකුල් දෙක යටවෙලා. මේ වේලාවේ සෙනග පිරිලා.අනතුරුවලට ලක්වූ අය බේරා ගන්න යම් දැනුමක් මට තියෙනවා.මා කෑගහල කිව්වා මෙයාව බේරගමු කියලා. ඒත් කවුරුවත් ආවේ නැහැ. මෙහි වේදිකාව හා දුම්රිය මාර්ගය අතර තියෙන්නේ පුංචි ඉඩක්.පසුව එක් අයෙක් සහායට ආවා.

මාව බේර ගන්න කියලා දෙපාරක්ම දුම්රියට යටවූ අය කිව්වා. ඒ වන විටත් කකුල් දෙකත් කැඩිලා තිබුණේ.අතකටත් දැඩි ලෙස හානි වෙලා. රේල් පිල්ලයි ප්ලැට් ෆෝම් එකයි අතරට තුවාලකරු ඇදල ගත්තා. 1990 මෙතැනට ගෙන්න ගත්තා. මෙවැනි තුවාලකරුවෙකු රෝහල්ගත කරන ක්‍රමවේද ගැන කිසිවකුටත් දැනුමත් තිබුණෙ නැහැ.ඇතැමුන් මේ සිද්ධියේදී උදව් කරනවා වෙනුවට කළේ පොටෝ ගන්න එකයි විඩියෝ කරන එකයි.මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. අඩුම වශයෙන් 1990 මේ ස්ථානයට ගත්තේ දැඩි අපහසුවකින්.ඒතරමට සෙනග පිරිලා.ඒත් මිනිසුන් ජිවිතයක් බේර ගන්න උත්සාහ කරන්නේ නැහැ. මා අදටත් විශ්වාස කරනවා.විනාඩි 15 කින් පමණ මේ ලෙඩා රෝහලට ඇතුළත් කරානම් බේරා ගන්න තිබුණා කියලයි ධනංජය මහතා පැවසුවේ දැඩි වේදනාවකිනි.