ඊවා විනිසුරුතුමිය බැසිල්ගේ පෙත්සමෙන් ඉවත් වුයේ ඇයි?

ඊවා විනිසුරුතුමිය බැසිල්ගේ පෙත්සමෙන් ඉවත් වුයේ ඇයි?

දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.

මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා.
ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත‍්‍රශීලීත්වයෙන්ම කතා කළා.

ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා.
ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත‍්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරිනී ඊවා වනසුන්දර ය. උපුටා ගත්තේ, 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5පිටුවේ පළවූ, ඇය සමග කළ සම්මුඛ සාකච්ඡවක් පදනම් කරගත් ලිපියකිනි.

එහි ඇය කියන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්‍ෂය. මහින්ද රාජපක්‍ෂ ගැන ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත‍්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’
මෙම පෞද්ගලික සම්බන්ධතා නිසාවෙන් ඊවා වනසුන්දර විනිසුරුතුමිය හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් ඉවත් වන්නට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.