මෛත්‍රි මිත්‍යාවන් පසුපස..

මෛත්‍රි මිත්‍යාවන් පසුපස..

මහින්ද රාජපක්ෂ පාලන කාලය ලංකාවේ රාජ්‍ය පාලනය තුළට ආගමික හා මිත්‍යා විශ්වාස ඈඳා ගත් යුගයක් වූ අතර මහින්ද පාලනයේදී රාජකීය දෛවඥයකු විසින් රාජ්‍යයට සම්බන්ධ කාර්යයන් සිදුවිය යුතු වේලාව තීරණය කරනු ලැබීය. මැතිවරණ පැවැත්වූවේද දෛවඥයා ලබාදුන් වේලාවටය.
එමෙන්ම වත්මන් පාලනයද එම අඩිපාරේ යමින් මිත්‍යා විශ්වාස පසු පස ගමන් කරන බව තහවුරු වෙමින් ඇත.

දෙයියන්ගේ කැඳ

පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන කැඳ වර්ගයක් පසුගිය වර්ෂයේ රාජකීය විද්‍යාලය තුළ සහ උතුරු මැද පළාතේ පාසල් 300ක පමණ දරුවන්ට බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වූයේද රාජපක්ෂ පාලනය යටතේය.

මෙම කැඳ වර්ගය නිපදවන සහ විවිධ ආගමික කටයුතුවල යෙදෙන හෙළ සුවය නම් සංවිධානයේ හිමිකරු පවසන්නේ මෙම වට්ටෝරුව නාථ දෙවියන් හීනෙන් පෙනී සිට කියන ලද්දක් අනුව නිෂ්පාදනය කර ඇති බවයි. වෙළඳපොළේ විකුණන්නට ද තිබෙන මෙම ‘දෙයියන්ගේ කැඳ’ පැකට්ටුවේද සඳහන්ව තිබෙන්නේ එය දෙවියන් විසින් දුන් වට්ටෝරුවක් බවය.

වියදම්

හාල් වර්ග කිහිපයක් සහ වෙනත් අඩුම කුඩුම සහිත මෙම කැඳ පැකට්ටුවක් අලෙවි කරන ලද්දේ රුපියල් 700ක් වැනි අධික මුදලකටය. පාසල්වලට ආහාර සපයන සමෘද්ධිලාභීන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා වන ප‍්‍රතිපාදනවලින් මෙම කැඳ ව්‍යාපෘතියට යන වියදම් ගෙවා තිබුණි. සෑම සතියකම අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල මෙම කැඳ ලබාදී තිබුණු අතර පසුගිය වසරේ මැයි මාසයේ රුපියල් තිස්හත් ලක්ෂ අසූ දෙදාස් හයසිය හැටක් ද ජුනි මාසයේ රුපියල් තිස් හත් ලක්ෂ අසූදාහක්ද හෙළ සුවයට ගෙවා තිබුණි.

නව රජය

අලූතින් රජයක් පත්වුණේ පෙර කී ආකාරයට මිත්‍යා විශ්වාස ප‍්‍රතික්ෂේප කරමින්ය. දෙවියන්ගේ කැඳ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව රජයද එම අඩි පාරේ යමින් එයට දිගුවක් ලබා දී ඇත. එනම්  සිදුව ඇත්තේ සතියකට දින තුනක් මෙම කැඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ටද ලබා දීමය.