FAST NEWS

24×7 Around the Globe

අරුම පුදුම පාවෙන නැවක්

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම පුදුම සහගත දෙයක්.   

එංගලන්ත වෙරළට ඔබ්බෙන් වූ දුර්ලභ දෘෂ්‍ය මායාවක ප්‍රතිඵලයක් ලෙස නැවක් පාවෙන ලෙස පෙනෙන ඡායාරූපයක් ඡායාරූපගත කර තිබේ.

ඩේවිඩ් මොරිස් නමැති පුද්ගලයකු කෝර්න්වෝල් හි ෆල්මූත් වෙරළ අසල ඇවිද යමින් සිටියදී නැවේ ඡායාරූපයක් ලබාගත් අවස්ථාවේ මෙය දක්නට ලැබ ඇත.

බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට මේ “අති සුවිශේෂී මිරිඟුව” හටගන්නේ “ආලෝකයේ නැම්මක් ඇති කරන විශේෂ වූ වායුගෝලීය තත්ත්ව” හේතුවෙන් බවටයි.

ආර්ක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී “ඉතා දුර්ලභ” ලෙස දැකිය හැකි බවයි.

‘ගිලන්’ නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී මුහුද දෙසට දෑස් යොමා සිටින අතරේ මෙම ඡායාරූපය ගැනීමෙන් පසු තමන් මහත් විමතියකට පත් වූ බව ඩේවිඩ් මොරිස් සඳහන් කළා.

මේ අතර ඩේවිඩ් බ්‍රේන් කියා සිටින්නේ, “සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් නිසා මේ අති සුවිශේෂ මිරිඟු ඇතිවනවා” යනුවෙනුයි.