FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) – ප්‍රබල භූමිකම්පාවක් සහ පසු කම්පන 02 කින් පසු නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට කටයුතු කර ඇත.   

මේ වනවිට අවධානම් තත්ත්වය පහව ගොස් ඇතත් වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත්වී සිටින ලෙසට එරට බළධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පන වැලක් සිදුව ඇති අතර, අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් රික්ටර් පරිමාණයේ 8.1 ක ප්‍රබලතාවකින් යුක්තයි.

නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව ඇත.

ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2 ක භූ කම්පන දෙකක්ද සිදුවිය.

එමෙන්ම එම දිවයින් ආශ්‍රිතව පැසිෆික් කලාපයේ තවත් අතුරු කම්පන රැසක්ම සිදුව ඇති අතර, එම භූ කම්පන රික්ටර් පරිමාණයේ 5 ත් 6.1 ත් අතර ප්‍රබලතාවකින් යුක්තයි.

මෙම භූ කම්පන හේතුවෙන් පැසිෆික් කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කළ අතර, නවසීලන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල ජනයා ඉවත් කරගැනීමට කටයුතු කෙරුණි.