FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු වැසියන්ට ෆේස්බුක්වල පුවත් අන්තර්ගතයන් බ්ලොක් වෙයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට අවහිරතා පැනවීමට ෆේස්බුක් (Facebook) සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.   

ඒ, ඕස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යන් සම්බන්ධයෙන් සම්මත කරගත් නව නීති හේතුවෙනි.

නව නීතින්ට අනුව ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, ෆේස්බුක් සහ ගූගල් වැනි ආයතන සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවයි.

ඕස්ටේලියානු රජය සිය සමාගම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කරන සමාගම් අතර ඇති සම්බන්ධය මූලික වශයෙන්ම වරදවා තේරුම් ගෙන ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කළේ ය.

ෆේස්බුක් සමාගමේ මෙම අවහිරතා පැනවීම දැඩිව විවේචනය කරමින් ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේ, ෆේස්බුක් සමාගම පිළිබඳ ඇති විශ්වසනීයත්වයට මෙය තර්ජනයක් බවයි.

මෙම අවහරිතාව එරට කාලගුණ අංශ, ආරක්ෂක සහ හදිසි සේවා වැනි අංශවල ෆේස්බුක් පිටු සඳහා ද බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම නීතිය නොවෙනස්ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.