FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් 170 ක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ හිමාල අඩවිය ආසන්න චාමෝලි ප්‍රදේශයේදී ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් ඇති වූ මහා ජල ගැල්ම නිසා මේ වනවිට පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 170 දෙනෙකු අතුරුදන්ව සිටියි.   

ඉන්දියාවේ – උත්තරකාන්ද් ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘතියක් ආසන්නයට දැවැන්ත හිම තට්ටු කඩා වැටීමෙන් මෙම විශාල ජල ගැල්ම හටගත්තේය.

ග්ලැසියර ඛාදනයත් සමඟ ආලකන්දා සහ ධූලිගංඟා, ගංඟාවන් පිටාර ගලමින් මහා ජල ගැල්මක් ඇති වූ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටව තිබේ.

පාලම් 05 ක් ජල ගැල්මෙන් ගසාගෙන ගොස් ඇති අතර, ඉදිකරමින් තිබූ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් මුළුමනින්ම විනාශ වීමත් සමඟ වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට ඉන්දීය ආරක්ෂක හමුදා සහ කිමිඳුම්කරුවන් එක්ව සිටින අතර, උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ අනතුරට පත් සියල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.