FAST NEWS

24×7 Around the Globe

කොදෙව් කණ්ඩායමෙන් අටවන කඩුල්ලට ලකුණු 193ක සබඳතාවයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමගින් පැවැති පුහුණු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 ක ජයක් හිමි කරගැනීමට සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත් විය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (29දා) පැවැති මෙම තරගයේ ලකුණු 319 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 103 ක් රැස් කරගෙන සිටියේය.

ඒ වනවිට ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 147 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබුණි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ෂෙහාන් ජයසූරිය හා චාමර කපුගෙදර ලකුණු 5 බැගින් රැස්කරගෙන සිටියහ.

ඊට අමතරව නායක ළහිරු තිරිමාන්න ලකුණු 41 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 32 ක් බැගින් රැස් කරගෙන සිටියහ. රවී රාම්පෝල්, ජේසන්  හෝල්ඩර් හා ඇන්ඩ්‍රෘ රසල් ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවෝ වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 318ක් රැස්කිරීමට සමත්විය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් බ්‍රැත්වෙයිට් පන්දු 58 කදී වේගවත් ලකුණු 113 ක් රැස් කළේ හතරේ පහර 10 ක් හා 6 පහර 7 ක් සහිතවය. ඔහුට අනගි සහායක් දැක්වූ ඇන්ඩ්‍රෘ රසල් පන්දු 54 ක් තුළදී ලකුණු 89 ක් රැස් කිරීමට සමත් විය.

කොදෙව් ඉනිමේ ඉදිරිපෙළ කඩුලු 07ක් ලකුණු 109 තුළ බිඳවැටී තිබියදී ක්‍රියාත්මක වූ අන්ඩ්‍රෘ රසල් හා චාර්ලස් බ්‍රාත්වෙයිට් අටවැනි කඩුල්ලට ලකුණු 193ක් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් එක් කළහ. ඔවුන් දෙදෙනා පන්දුවාර 16.3කදී මෙම ලකුණු  රැස්කිරීම සුවිශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන්  බිනුර ප්‍රනාන්දු කඩුලු 3 ක් දවාළීය. ඊට අමතරව ඉසුරු උදාන හා සීක්කුගේ ප්‍රසන්න අතර කඩුලු 2 බැගින් බිඳීහෙළූහ.