සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්ස තරගාවලියට එක්වීමට එකඟතාව පළකර තිබෙනවා.
එම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස ආරම්භ වන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේයි.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සංවිධායක කමිටු ප‍්‍රධානී නජාම් සෙතී පවසන්නේ කුමාර් සංගක්කාර වැනි සුපිරි ක‍්‍රීඩකයෙකු මෙම තරගාවලියට එක්වීමෙන් එහි ආකර්ශනය තවත් ඉහළ යනු ඇති බවයි.
මෙම තරගාවලිය සඳහා ක‍්‍රීඩකයින් සිය දෙනෙකු පමණ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
කුමාර් සංගක්කාරට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන. ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් යන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ද පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන විශ‍්‍රාමිකයින්ගේ ක‍්‍රිකට් තරගාවලිය හෙවත් මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ද කුමාර් සංගක්කාර එක්වනවා.






