FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ මුලින්ම ජිනීවා ගිය දෙදෙනා ගැන රංග බණ්ඩාර හෙළි කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජිනීවා යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් හිතා මතාම ලිස්සා ගියේ ඇයිදැයි වහාම රටට හෙලි කළයුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා පවසයි.

ජිනීවා යෝජනාව මෙරටට වාසිදායක එකක් බව ශ්‍රීලංකාවට නිතර හතුරුකම් කරන අය පවා පිලිගෙන තිබියදී, මාධ්‍ය නිවේදන හරහා යෝජනාව හානිකර යැයි කියන රාජපක්ෂ මහතාට, තම අදහස් පාර්ලිමේතුවට පැවසීමට වේලාව පවා වෙන්කර තිබුනත් ඔහු පාර්ලිමේතු විවාදය මගහැරිය බව රංගේ බංඩාර මහතා පැවසුවේ පුත්තලම මදුරංකුලියේදී පැවති බල මණ්ඩල රැස්වීමකදීය.

1989- 90 කාලයේ ශ්‍රීලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාද කළ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ මුලින්ම පැමිණිලි කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට හිමිවන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා රාජපක්ෂ මහතා නියම දේශප්‍රේමියකු නම් පාර්ලිමේන්තු විවාදයට එඩිතරව මුහුණ දිය යුතුව තිබුණු බවද සඳහන් කලේය.

රංගේ බංඩාර මහතා මෙසේද පැවසීය.

විදෙස් නීති විශාරදයින් ගෙන්වා ගත්තේ නීති උපදෙස් ගන්න පමණයි කියල මහින්ද රාජපක්ෂ උන්නැහේ කියනව. මම අහන්නේ ජාතියේ මහා දේශප්‍රේමියා වන එතුමා ඇයි විදෙස් නීති උපදෙස් ගත්තේ ? අපේ රටේ නීති විශාරදයො හොඳ මදි වුනාද ? මොනවද ඔවුන්ගෙන් ගත්ත උපදෙස් ? ඒ උපදෙස් වලින් රටට වුන යහපත මොකද්ද ? ඒ උපදෙස් වලට කාටවත් නොකියා මහබැංකුව හරහා ඩොලර් දහස් ගණන් ගෙව්වේ ගෙව්වේ ඇයි ? උපදෙස් ගත්තේ රණවිරුවන් ආරක්ෂා කරන්නද, පවුලේ අය ආරක්ෂා කරන්නද? ඇයි මේ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් නොකලේ?

අද මහා දේශප්‍රේමියන් වගේ කතා කරන වාසුදේවයි, මහින්ද රාජපක්ෂයි තමා අපේ රටේ ප්‍රශ්න වලට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව කියන්න 89 දි මුලින්ම ජිනීවා ගියේ. ඔවුන් දෙන්න තමයි 89 භීෂණ කාලයේ ඝාතනය වූ, ටයර් සෑයවල දැවුනු තරුණයන්ගේ ඡායාරූප ජිනීවා මානව හිමිකම් කොමිසමට අරන් ගියේ.

එදා මහින්දලා අපේ රටට අන්තර්ජාතික මැදිහත්වීමක් අවශ්‍යයි කියල ප්‍රේමදාස ජනාධිපති තුමාට විරුද්ධව පැමිනිලි කරන කොට සමහර අයට මේගොල්ලන්ව පෙනුනේ මහා දේශප්‍රේමීන් හැටියට.

එහෙව් දේශප්‍රේමී මහින්ද උන්නැහේට පිටකොන්දක් තිබුනා නම් පාර්ලිමේන්තුවට ඇවිත් ජිනීවා යෝජනාව ගැන විවාදයට මුහුන දෙන්න තිබුනා. එයා ආවේ නැත්තේ රෙද්දක් ඇඳගෙන ඒ ගැන කතා කරන්න එයාට බැරි බව දන්න නිසයි.