කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පිහිටා ඇති භූගත බංකරය එවකට පැවැති ත්‍රස්තවාදී තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ගොඩනඟන ලද්දක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එම බංකරය තමා වෙත ලැබුණු උපදෙස් අනුව ගොඩනඟන ලද බව පවසන ඒ මහතා එය තමාට පමණක් නොව ආරක්ෂක මණ්ඩලය සඳහා සහභාගි වූ සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් බව ද හදිසි තත්ත්වයන් යටතේ වුවද එම බංකරය තුළඳී ආරක්ෂක මණ්ඩලය රැස්වීමේ හැකියාව තිබූ බව ද පෙන්වා දෙයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ අභයාරාමයේ දී ඊයේ (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ එය යුද ගැටුම් පැවැති සමයේ දී ඉදිකරන ලද්දක් බවත් ත්‍රස්තවාදීන් විසින් සැහැල්ලු ගුවන් යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන සමයේ දී ඉදිකරන ලද්දක් බවත්ය.
ඒ වෙනුවෙන් වැය වූ මුදල තමා නොදන්නා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා මුදල් වැයවන දෑ තමා විසින් සෙවීමක් නොකරන බව ද අවශ්‍යතාව මත එය ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය දුන් බව ද පැවැසීය.
මේ අතර ඒ මහතා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විහිළු කිරීම සඳහා දක්ෂයකු බවත් මේ දිනවල ජිනීවා සිද්ධිය රඟපාන බවත්ය. තම රජය විසින් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් පත්කළ බව සඳහන් කළ ඒ මහතා එයින් අනතුරුව පරණගම මහතාගේ ලිඛිත ඉල්ලීම මත ජාත්‍යන්තර යුද නීතිය පිළිබඳ විශේෂඥයන් කිහිපදෙනකුගෙන් උපදෙස් ලබාගත් බව ද සඳහන් කළේය.
ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රෙන්, ආචාර්ය මයිකල් නිවුටන් හා රොඩ්නි ඩික්සන් වැනි නීති විශාරදයන් සහ මේජර් ජෙනරාල් ජෝන් හූම්ස් වැනි යුද විශේෂඥයන් විසින් ස්වාධීන විග්‍රහයක් එම කොමිසම වෙත ලබා දී තිබෙන බව පෙන්වාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම විශේෂඥයන්ගේ මතයන් ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයන්ට ලබාදීමට යහපාලනයට යුතුකමක් තිබූ බව ද එය ඉටුකරන්නට අවශ්‍ය තරම් කාලය තිබූ නමුත් එය ඉටුනොකළ බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ එය සිතාමතාම පැහැර හැරි බවයි.









