සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර මුම්බායිහි ඊයේ (25දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 214ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 – 2 ක් ලෙස තරගාවලිය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය.
වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 438 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 36 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 224 ක් පමණි. තරගයේ වීරයා ලෙස කුයින්ටන් ඩි කොක් සම්මාන හිමිකරගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඒ.බී. ඩිවිලියර්ස් සම්මාන දිනාගත්තේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම රැස්කළ ලකුණු 438/4 ලෝක එක්දින පිටියේ කණ්ඩායමක් රැස්කළ තෙවැනි සම වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443/9 ක් රැස්කිරීම මෙහි ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මෙය එක්දින පිටියේ දකුණු අප්‍රිකාව ලකුණු 400 සීමාව ඉක්මවා ගිය 06 වැනි අවස්ථාවද වෙයි. මීට අමතරව ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ලොව ඕනෑම කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වන අතර, මීට පෙර ශ්‍රී ලංකාව 2009 වසරේදී රාජ්කොට්හිදී රැස්කළ ලකුණු 414/7 ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
දකුණු අප්‍රිකාව ලැබූ මෙම තරගාවලි ජය ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ඉන්දියාවේදී ඔවුන් ලැබූ පළමු තරගාවලි ජය වේ. දෙරට අතර 1991 වසරේ සිට මේ දක්වා එක්දින තරගාවලි 06ක් පවත්වා ඇති අතර, මෙම තරගාවලිය හැරෙන්නට අනෙක් සියලුම තරගාවලි දකුණු අප්‍රිකාව පරාජයවී ඇත. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමක් මේ දක්වා දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී මුහුණදී ඇති එක්දින තරගාවලි හතරෙන් එකදු තරගාවලියක් හෝ ජය ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.
ලකුණු 214කින් දකුණු අප්‍රිකාව ලැබූ ජයග්‍රහණය ඔවුන් ඉන්දියාවට එරෙහිව වාර්තාකළ ඉහළම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය වන අතර,එය එරට ක්‍රිකට් ඉතිහාසයේ 06 වැනි (ලකුණු පරතරයෙන්) විශාලම ජයග්‍රහණය වේ. මෙය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දෙවැනි දැවැන්ත ජය වන අතර, ඔවුන් 2000 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 245කින් සාජාහිදී පරාජය වීම එහි ඉහළින්ම තිබෙයි.
දකුණු අප්‍රිකාව ලකුණු 400 සීමාව පසුකිරීම ලෝක එක්දින පිටියේ ඕනෑම කණ්ඩායමක් එම කඩඉම පසුකළ 17 වැනි අවස්ථාව වේ. ඉන් දකුණු අප්‍රිකාව 06 වතාවකදී මෙම කඩඉම පසුකර ඇති අතර, එය කණ්ඩායමක් එම දස්කම දක්වා ඇති වැඩිම වාර ගණන වේ. ඉන්දියාව (5) මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව (3) තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
මෙම තරගයේදී ඩි කොක් (109), ඩු ප්ලෙසිස් (133) හා ඩිවිලියර්ස් (119) ශතක රැස්කිරීමට සමත්වූ අතර, කණ්ඩායමක් එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. පළමු වරටද මෙම දක්ෂතාව ඔවුන් විසින්ම වාර්තා කොට ඇති අතර, ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙම වසරේ ජනවාරි මාසයේදී හෂිම් අම්ලා, රිලී රූසෝව් හා ඩිවිලියර්ස් ශතක රැස්කරමිනි.








