FAST NEWS

24×7 Around the Globe

‘කොණ්‌ඩයා’ වෙනුවෙන් දක්වන උනන්දුව තම දියණියට නැත්තේ ඇයි? පියා ප්‍රශ්න කරයි.

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්‌ඩයා’ සම්බන්ධයෙන් ඇතැම් නීතිඥ මහත්වරුන් දක්‌වන උනන්දුව අගතියට පත් තම දියණිය වන සේයා සදෙව්මි දැරියට නොදැක්‌වීම ගැන කනගාටුවන බව එම දැරියගේ පියා සඳහන් කළේය.

මෙවැනි සිද්ධි නිසා ඇතැම් විට අපරාධකරුවන් සමාජයේ ගරු බුහුමනට ලක්‌වන තත්ත්වයක්‌ ඇතිවීමට උල්පන්දම් දීමක්‌ ඇතිවිය හැකි බව ද එම පියා මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.

දුනේෂ් ප්‍රියශාන්ත අධිකරණය මගින් චෝදනාවන්ට ලක්‌වූවකු බවත් ඔහු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ගොස්‌ කරුණු දැක්‌වීමට ඇතැම් නීතිඥ මහත්වරුන් ඉදිරිපත් වූ බවට පසුගිය දිනවල මාධ්‍යවල පෙනෙන්නට තිබුණත් තම දරුවාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පෙනී සිටීමට මෙතෙක්‌ නීතිඥ මහත්වරුන් ඉදිරිපත් වූයේ නැතැයි ද හෙතෙම කීය.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්‌ඩයා’ කිසිදු චෝදනාවකට ලක්‌ වී නොමැති අහිංසකයකු ලෙස හුවා දැක්‌වීමට ඇතමුන් උත්සාහ කළ ද ඔහු බාල වයස්‌කාර ළමයකු පැහැරගෙන යැම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා දෙක යටතේ ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරදකරු වී අත්හිටවූ සිර දඬුවම් නියම වී ඇති පුද්ගලයකු වේ .

කොණ්‌ඩයා නමැති සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී නිවසින් සැඟවී පැනගොස්‌ දින තුනකට පසු කැලයක සැඟ වී සිටියදී බව ද කී එම නිලධාරියා ඔහු සිද්ධියට සම්බන්ධ නොමැති නම් පොලිසිය මඟ නොහැර පොලිසියට ඉදිරිපත් වී ප්‍රකාශයක්‌ ලබා දීමට හැකියාව තිබූ බව ද කීය.

සැකකාර කොණ්‌ඩයා අත්අඩංගුවට ගෙන අවස්‌ථා තුනකදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවල තමාට පොලිසිය පහරදීමක්‌ කළ බවට ප්‍රකාශ නොකර, නිදහස්‌ වීමෙන් පසු පහරදුන් බවට ප්‍රකාශ කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.