(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
තවත් 893 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ තවත් පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව එම කොට්ඨාශයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ යනු ඇති.
මීට අමතරව තවත් 5 දෙනෙකු ඊයේ දිනයේදී සැක සහිත රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ සේවයේ නියුතු වී ඇති බවට ද අනාවරණ විය.
එම නිලධාරියා කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු පැවැත්වෙන ශාලාවට ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් එම කොමිසමේ වැඩ කටයුතු මෙන්ම ඊට ආසන්නයේ ක්‍රියාත්මක වන දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ ද වැඩ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් ඒකකය පවසයි.









