(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් විදෙස් රටවල සිරවී සිටිති.
එම පිරිස් මෙරටට ගෙන්වන මුවාවෙන් ගුවන් යානා කුලියට ගෙන කළ සංවිධානාත්මක ජාවාරමක් නතර කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි.
කොවිඩ් වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් පසුගිය ජූලි මාසයේ සිට මැදපෙරදිග ඇතුළු රටවලින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමේදී සිදු කළ මූල්‍යමය වංචාවන් ගැන ජනපතිවරයාට සාක්ෂි සහිතව ලබා දුන් බුද්ධි වාර්තා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත.
මේ නිසා මින් ඉදිරියට එම කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් කිරීමට නියෝග කර ඇති බවවාර්තා වේ.
මෙම සංවිධානාත්මක ජාවාරමට රජයේ නිලධාරීන් මෙන්ම තානාපති අංශවල නිලධාරීන් ද සම්බන්ධ බව අනාවරණය වෙයි.
ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ මෙයට සම්බන්ධ බවට හඟවා සංවිධානාත්මක පිරිසක් මෙය කරගෙන ගොස් ඇතැයි බුද්ධි අංශ විසින් ජනපතිවරයාට වාර්තා කර තිබේ.
මෙහි දී ගුවන් ටිකට්පතේ සිට හෝටල්, කාමර සැපයීම, ගුවන් යානා කුලියට ගැනීම ඇතුළුව කාර්යයන්වලදී එක් එක් ගුවන් වාරයකට රුපියල් මිලියන 36ක පමණ ලාභයක් තබාගෙන ඇති බව හෙළි වී ඇත.
ඩුබායි සිට මගීන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ඇමරිකන් ඩොලර් අසූදහසකට ගුවන් යානාවක් කුලියට ගෙන එක් මගියකුගෙන් ඩොලර් දහස බැගින් අය කරගෙන ඇති බව හෙළිවනවා.
එහි දී කොවිඩ් නීති රෙගුලාසි අනුව ගුවන් යානාවක මගීන් අතර පරතරය තබා ගැනීමට රැගෙන එන බව පවසා ටිකට්පත්වල මිල ගණන් නියමිත මිලට වඩා වැඩි කර තිබුණි.
නමුත් ගුවන් යානයේ සියලුම අසුන් ගණනට මගීන් 280 බැගින් එකවර රැගෙන විත් ඇතැයි හෙළි විය.
මෙමගින් පෞද්ගලික අංශයට එක් යානයකින් ඩොලර් ලක්ෂ දෙකකට අධික ලාභයක් ලැබී තිබේ.
ශ්‍රී ලාංකිකයන් විදෙස්ගත වීමේ දී මෙරටට එන ටිකට් පත (Return) සඳහාත් කලින් මුදල් ගෙවා තිබුණද එය වලංගු නොමැති බව කියා අදාළ නියෝජිතයන් කියන සමාගමෙන් වෙනමම ටිකට් ලබා ගැනීමට උපදෙස් දී තිබුණි.









