FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දුර්වල ඇයි – සෝබර්ස් හේතු පහදයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දුර්වල වීමට සාම්ප්‍රදායික ක්‍රිකට් තරඟ වලට වඩා වැඩි මූල්‍යමය වටිනාකමක් ඇති විස්සයි විස්ස තරඟ සඳහා ක්‍රීඩකයින් දක්වන ප්‍රියතාව හේතු වී ඇති බව සර් ගාෆීල්ඩ් සෝබර්ස් පවසයි.

ක්‍රිකට් පිටියේ අසහාය තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් ඊයේ මෙම අදහස් පළ කරමින් පවසා ඇත්තේ ක්‍රීඩකයන් මුදල් සහ ජාතික වගකීම අතර සමබරතාවක් පවත්වා ගත යුතු බවයි.

එමෙන්ම කොදෙව් පිළේ ක්‍රීඩකයන් විස්සයි විස්ස තරඟ සඳහා සහභාගී වීම හේතුවෙන් වඩාත්ම හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම සකස් කිරීම එරට තේරීම් කමිටු සාමාජිකයින්ට ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බව ඔහු තවදුරටත් පවසයි.

සෝබර්ස්-තිසේරා කුසලානය වෙනුවෙන් කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

ක්‍රිකට් පිටියේ අසහාය තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන 79 හැවිරිදි ගාෆීල්ඩ් සෝබර්ස් 1954-1974 කාලසීමාවේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.