FAST NEWS

24×7 Around the Globe

අසැබි දෙයට දරුවන් යොදා ගන්නන්ට ඉදිරියේදී වැඩ වැරදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්තමානයේ දරුවන් යොදාගෙන සිදුකරනු ලබන සමාජයට අහිතකර වීඩියෝ සමාජ මාධ්‍යයන් ඔස්සේ පළ කිරීම මෑත කාලයේ දී ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

එවැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ ඇතුළත් වන නමුත් වර්තමාන තත්ත්වයන්ට එකී විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බවයි රජය පවසයි.

එයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කර තිබේ.

එම ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද වාර්තා වේ.