FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලකට වෙන්න යන දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක් වන ගෆූර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කිරීමට සැරසේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ඊයේ (09) ආරම්භ කළේය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක නෞකාවලින් කොළඹ වරාය වෙත පැමිණෙන මගීන් හට නවාතැන් ගැනීම සඳහා මෙම ස්ථානය සුපිරි හෝටලයක් බවට පත්කරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ සඳහන් කළේය.

“මේ ගෆූර් ගොඩනැගිල්ල ඉතාමත් පැරණි ඉතිහාසයක් තියෙන ගොඩනැගිල්ලක්. මේක හදලා නිම කළේ 1915 දී. මේ ගොඩනැගිල්ල හැදුවේ අබ්දුල් ගෆූර් කියලා මහත්මයෙක්. ඔහු මුතු මැණික් ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ මේ කොළඹ වරායට ගොඩාක් නැව් එනවා. ඒ නැව්වල එන මගීන්ට මුතු මැණික් විකුණන්න, එතුමා කරපු ව්‍යාපාරයේ කොටසක් විදියට තමයි මේ ගොඩනැගිල්ල ඒ කාලේ ඉදිවුණේ. ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධ ආයතන රාශියක් මේ ගොඩනැගිල්ලේ ස්ථානගත වෙලා තිබුණා. ඒ නිසා මෙය හොඳ ඉතිහාසයක් තිබෙන ගොඩනැගිල්ලක්.

එහෙම ඉතිහාසයක් තියෙන ගොඩනැගිල්ලක් තමයි අද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් භාර ගෙන මේ විදියට ප්‍රතිසංස්කරණය කරලා, සංරක්ෂණය කරලා ජනතා අයිතියට නැවත පත්කරන්නේ. අපි මේ පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන විට මතක තබා ගත යුතු වැදගත් කරුණ තමයි ඒවා අනාගත පරපුර වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර තබා ගන්නවා වගේම ඒවායින් ජනතාවට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයකුත් ලැබෙන විදියට ඒවා පවත්වා ගෙන යාම. නැතිනම් ඒවා පවත්වා ගෙන යාමේ වියදමවත් අපට දරා ගන්නට බැහැ. ඒ නිසා තමයි මේ දෙකම සංකලනය කර ගෙන මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ.

අද අමාත්‍යාශය විසින් සැලසුම් කර තිබෙන ආකාරයට මේ ගොඩනැගිල්ල ඉතාමත් වටිනා මෙහෙවරක් ඉදිරියේ දී මේ රටේ සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම ඉටුකරන්නට නියමිතයි. මේ ගොඩනැගිල්ලට එහා පැත්තේ තියෙන්නේ වරාය. මේ වරායට එන සංචාරක නෞකාවලට, ඒ නෞකාවලින් එන පුද්ගලයන්ට මෙතන නතර වෙන්න පුළුවන් සුපිරි හෝටලයක් හැදෙනවා. ඒ වගේම මෙතන රෙස්ටුරන්ට්ස්, ෂොප්ස් මේ සියල්ල සහිත ඉතාමත් ප්‍රයෝජනවත් තැනක් බවට පත්කරන්න තමයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරලා තියෙන්නේ. මේ සැලැස්ම අපේ විශාල සැලැස්මක කොටසක්. අපේ බලාපොරොත්තුව තියෙන්නේ කොටුවේ මේ පැරණි නගරය ප්‍රතිසංස්කරණය කරලා, සංරක්ෂණය කරලා මේ සංචාරක පුරවරයක් වශයෙන් පවත්වා ගෙන යන්නටත්, ඒ වගේම මෙතනින් එහාට අපි බහු ප්‍රවාහන මධ්‍යස්ථානයක් අපි පටන් ගන්නවා. මෙතන ඉඳන් මරදානට යනකම්ම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.“