FAST NEWS

24×7 Around the Globe

එකවර පස් නිවුන් දරුවන් ලැබීමේ රහස හෙළිකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ බිහි වූ පස් නිවුන් දැරියන් මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වේ.

පසුගිය 28 වනදා මෙලොව එළිය දුටු එම දියණියන් පස්දෙනා තවමත් එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

දැරියන්ගේ මව වන 29 හැවිරිදි රසාංජලි ජයවර්ධනද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.

ඔවුන් දරුවන් පස්දෙනෙකු එකවර ලැබීම හාස්කමක් සේම භාග්‍යයක් කොට සලකයි.

දරුවන්ගේ පියා මෙම හාස්කම ගැන පැහැදිලි කළේ මෙසේයි.

“මම පූගොඩ නගරයේ පොඩි සපත්තු සාප්පුවක් කරන කෙනෙක්. මගේ බිරිඳ ගුරුවරියක්. එයාට ගුරු පත්වීම ලැබුණේ අපි විවාහ වුණු අලුතමයි. මුලින්ම පත්වීම ලැබුණේ වනියාවේ ගාමිණි විද්‍යාලයට. ඒ කාලේ රසාංජලිට දරු ගැබක් තිබුණා. ඒත් පසුව දරුගැබ නැති වුණා. අපේ කුළුඳුල් දරුවා අහිමි වීම ගැන අපි දෙදෙනාම ගොඩාක් දුකින් හිටියේ. ඒ නිසාම අපි දරුවන් ප්‍රාර්ථනා කරලා රුවන්වැලිසෑයට බාරහාර වුණා. මම නම් දෙවියන්ගෙන් ඉල්ලුවෙම දරුවෙක් නෙමෙයි, දරුවො ගොඩාක්.

බිරිඳ දරුවන් පස්දෙනෙක් කුසයේ දරා සිටින බව දැනගත්තට පස්සේ අපි බය වුණා.එත් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මගේ බිරිඳ ගැන ඉතා උනන්දුවෙන් සොයා බැලුවා .ඇයව සැහැල්ලුවෙන් තබා ගන්න එයාගේ බය නැති කළා.  ඒ වගේෂ්ම වෛද්‍යවරුන් රසාංජලිට ඇවිදින්නවත් දුන්නේ නැහැ. රෝද පුටුවෙ තියාගෙන උපස්ථායකවරියන් තමයි තල්ලු කරගෙන ගියේ. රසාංජලි දරුවන් පස් දෙනෙකු කුස තුළ තබාගෙන පුදුම දුකක් විද්දේ. උදරය විශාල නිසා හැරෙන්න පෙරළෙන්න බැහැ. මට කරන්න තිබුණේ එකම දේ තමයි දෙවියන්ට බුදුන්ට කියන එක. මම මගේ අතින් ම කිරිපිඬු උයාගෙන හැමදාම කැලණි විහාරයට ඇවිත් කිරි ආහාර පූජා කළා.

දවස් 200 ගණනක් බෝධි පූජා තිබ්බා. මම පින්දහම් කරන විට රසාංජලිත් වේදනාවක්, බියක් නැතිව හොඳ සෞඛ්‍ය තත්වයෙන් හිටියේ ඒ ආශීර්වාදය නිසයි. ඒ ගැන එයාටත් විශ්වාසයක් තිබුණා.”

දරුවන් පස්දෙනෙක් ලොකු මහත් කරන එක ලොකු අභියෝගයක් තමයි. ඒක මම දන්නවා. මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බබාලා පස්දෙනාව රැක බලා ගැනීමට වැඩිහිටි නෑදෑයන් නොමැතිකම. මගේ අම්මා තාත්තා දෙන්නාම නැහැ. රසාංජලිගේ අම්මා විතරයි ඉන්නේ. දරුවන්ට වඩා ගන්න, කවන්න, නාවන්න වැඩිහිටි ඥාති කෙනෙක් ඉන්නම ඕනෑ. එක්කෙනෙකුට විතරක් දරුවො පස්දෙනෙක් බලා ගන්න බැහැනේ”

නමුත් එදේත් ඉදිරියේදී හොදින් සිද්ධ වෙයි කියන විශ්වාසය රසාංජලීට වගේම ඇයගේ ස්වාමිපුරුශයාටත් තිබේ.