FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කා ගැන විමර්ශනය කළ පොලිස් නිලධාරීන් 4කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා”මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඉන්දීය පොලිසියේ නිලධාරීන් පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

නිලධාරීන් සිව් දෙනෙකු හට ඊයේ (17) දිනය වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් විමර්ශන කණ්ඩායමට අයත් තවත් නිලධාරීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යංශයට අයත් උප්පිලිපාලයම් කාර්යාලය විෂබීජහරණයට ලක්කිරීම සඳහා වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ “අංගොඩ ලොක්කා”සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සහ ඊට අදාළ නඩු විභාගයේ කටයුතු ද ප්‍රමාද වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් “අංගොඩ ලොක්කා“ගේ පෙම්වතිය ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.