FAST NEWS

24×7 Around the Globe

ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | මොරිෂස්) – ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය ජුලි මස 25 වෙනිදා බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් මෙම නෞකාව මොරිෂස් දුපත ආසන්නයේදී අනතුරට ලක් විය.

MV වකාෂිඕ යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල්පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් පවතින බවට වාර්තා වේ.

මොරිෂස් අගමැතිවරයා සඳහන් කළේ මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමග ඉදිරියේදී නෞකාවේ පවතින අනෙක් ඉන්ධනද සාගරයට මුසුවීමේ අවධානමක් පවතින බවයි.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දීය සාගර කළාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දුපත් සමුහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තිරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි .

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දුපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසුවූ බොරතෙල් ඉවත් කිරිමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.