FAST NEWS

24×7 Around the Globe

භාරත ඝාතනය ගැන හිටපු STF දුමීන්ද – ඊයේ (13 දා) අධිකරණයෙදි හෙළි කළ කරුණු මෙන්න.

මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්‌ථානය වෙත වාහන කීපයකින් පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විත්තිකරු එතැන සිටි කාන්තාවන්ගෙන් “කාටද ඡන්දෙ දැම්මේ” කියා අසා ඔවුන්ට පහර දෙනවා තමන් දුටු බව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී සිටි දුමින්ද කුමාර මහතා ඊයේ (13 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙසින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එසේ කියා සිටි සාක්‌කිකරු දුමින්ද සිල්වා විත්තිකරු සමග පැමිණි පිරිස්‌ එහි රැස්‌වූ ගමේ අයට එළව එළවා පහර දෙනු ලැබූ බවත් වැඩිදුරටත් කියා සිටියේය.
මෙහි නඩු විභාගය මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාණි ගුණරත්න (සභාපති විනිසුරු) එච්. සී. බී. එස්‌. මොරායස්‌ හා පද්මිණී රණවක මහත්ම මහත්මීන් හමුවේ විභාග වේ.
මෙහි විත්තිකරුවන් ලෙස අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත්, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්‌ඩාර ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර, ජනක බණ්‌ඩාර ගලගොඩ, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ශමින්ද ලියනාරච්චි යන අයව එහිදී නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක්‌ අනුව මෙම නඩු විභාගය පැවැත්වේ.
2011 ඔක්‌තෝබර් 8 දා මුල්ලේරියාවේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරීම, ඡන්ද මධ්‍යස්‌ථානය අවට කැරලිකාර තත්ත්වයක්‌ ඇති කිරීම හා මෙම චෝදනාවන් සිදුකිරීමට ආධාර අනුබල සැපයීම ආදී ලෙසින් විත්තිකරුවන්ට එරෙහිව මෙහි අධිචෝදනා ගොනු කර ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාක්‌කිකරු මෙසේද පැවැසීය.
මේ වන විට මා ජංගම දුරකථන අලෙවියේ යෙදී සිටිනවා. ඊට පෙර පොලිස්‌ සේවයේ යෙදී සිටියා. 2009 වසරේදී පොලිස්‌ සේවයේ විශේෂ කාර්ය බළකායට එක්‌වුණා. 2010 දී ස්‌වෙච්ඡා බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවයේ යෙදුණා.
මේ සිද්ධියට අදාළව මහෙස්‌ත්‍රාත් උසාවියේ සාක්‌කි දෙන විට මා පොලිස්‌ සේවයෙන් ඉවත් වෙලා සිටියේ. 2011 පැවැති පළාත් පාලන මැතිවරණයේ රාජකාරියේ යෙදෙන ලෙසට ලද නියෝගයක්‌ අනුව මුල්ලේරියාව ප්‍රදේශයේ ආරක්‍ෂාවට වාර්තා කළා. ඒ සඳහා කණ්‌ඩායමක්‌ ලෙසින් අප එහි ගියා. මීට පෙර සාක්‌කි දුන් දමිත් සුරංගද අප සමග සිටියා.
මුලින්ම අපි මුල්ලේරියාව පොලිස්‌ ස්‌ථානයට වාර්තා කළා. අපිට සංචාරක ආරක්‍ෂක කටයුතු භාරදෙනු ලැබුවා. රාහුල විද්‍යාලය හා ඒ අසල පන්සලක පැවැති ඡන්ද මධ්‍යස්‌ථාන සඳහා අප යොදවනු ලැබුවා. අපි නිල ඇඳුම ලෙස කැලෑ (කැමා) ඇඳුම් ඇඳ ටී-56 ගිනි අවිය සමග සන්නද්ධව සිටියා.
ඡන්ද මධ්‍යස්‌ථානය අසල අනවසර ලෙසින් නවතන වාහන ඉවත් කිරීම හා ඒ අවට මිනිසුන් ගැවසීම පිළිබඳව අප රාජකාරියට අයත් වුණා. ඡන්ද මධ්‍යස්‌ථානය තුළ පොලිස්‌ නිලධාරීන් සේවයේ යෙදී සිටියා.
මෙසේ සේවයේ යෙදී සිටින අතර තුරදී සවස 2 ත් 2-30 ත් අතර කාලයේදී ඡන්ද කාඩ්පත් බෙදන බවට සිවිල් පුද්ගලයෙක්‌ කළ පැමිණිල්ලක්‌ අනුව ඊට මැදිහත් වී ඔවුන්ව ඉවත් කළා.
මේ වෙලාව වන විට ලෑන්ඩ් කෲෂර්, ඩිෆෙන්ඩර්, ජීප් විශාල ප්‍රමාණයක්‌ එකපාරටම ඡන්ද මධ්‍යස්‌ථානය අසලට පැමිණියා. රාහුල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්‌ථානයට යන පාර පුරා එම වාහන නවතා තිබුණා. ඒ වාහන නතර කරනවාත් සමග ඒවායේ සිටි 15 ක්‌ 20 ක්‌ විතර පාරට බැස්‌සා. ඔවුන් ඡන්දය දාන්න යන අය සමග කතා කරනවා දැක්‌කා. ඒ අතර දුමින්ද සිල්වා මහතාද සිටියා.
සාක්‌කිකරු විත්තිකූඩුවේ සිටි විත්තිකාර දුමින්ද සිල්වාව හඳුනා ගනු ලැබීය.
එසේ වාහන වලින් බැස ආ පුද්ගලයන් අත පිස්‌තෝල තියෙනවා දැක්‌කා. රාජකාරියේ යෙදී සිටි අප ඔවුන් පැමිණීම වළක්‌වන්න ඔවුන් දෙයට ආවා.
දුමින්ද සිල්වා මහතා එතැන සිටි කාන්තාවන් තිදෙනකුගෙන් කාටද ඡන්දය දැම්මේ කියා අහනවා ඇසුණා. එතැන සිටි කාන්තාවන් කියූ දේවල් මට ඇසුණේ නෑ. එවිටම එම කාන්තාවකට දුමින්ද සිල්වා මහතා පහර දෙනු ලැබුවා. එවිට ඇය මහා හඬින් කෑ ගසමින් අසල ගෙදරකට දුව ගියා. අප එතැනට යනවාත් සමග දුමින්ද සිල්වා සමග සිටි අනෙක්‌ පිරිසත් එතැනට පැමිණි ගමේ අයට ගහන්න ගත්තා. දුමින්ද සිල්වා කාන්තාවට පහරදුන් පසු එකතුවූ ගමේ අයට තමයි ඔවුන් ගැහැව්වේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ- ගමේ අයට ගැසුවේ කවුද?
සාක්‌කිකරු- දුමින්ද සිල්වා සමග පැමිණි අය. ඔවුන් අතින් පයින් ගමේ අයට ගහනවා දැක්‌කා. ඇතැම් පුද්ගලයන්ට එළව එළවා පහර දුන්නා.
ඒ වෙලාවේදී කාන්තාවක්‌ අසල නිවසක සිට කෑ ගසනවා ඇසුණා. අප ඒ දෙසට ගොස්‌ විමසුවා. දුමින්ද සිල්වා සමග පැමිණි අය හා ගමේ අය ලෙසින් විශාල ප්‍රමාණයක්‌ එහි සිටියා. ඒ වෙලාවේදී අපට ගත හැකි විකල්පයක්‌ තිබුණේ නෑ. අපේ නිලධාරීන් දෙදෙනෙක්‌ දුමින්ද සිල්වා මහතාව ඔහුගේ වාහනය වෙත රැගෙන ගියා. මගේ මතකයේ හැටියට දුමින්ද සිල්වා මහතා ලෑන්ඩ් කෲෂර් වාහනයකින් පැමිණ සිටියා.
අපි එතැන සිටි දෙපිරිස දෙපසට කරන්න උත්සාහ කළා. ඇතිවූ සිද්ධීන් මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාවක්‌ තිබුණේ නෑ. දුමින්ද සිල්වා මහතා සමඟ පැමිණි පිරිස්‌ ටී-56 ගිනි අවි අතේ තියාගෙන ගමේ මිනිසුන්ට කුණු හරුපයෙන්ද බැන්නා.
ඒ වෙලාවේ පසුව ගමේ මිනිස්‌සු අපිට ද බනින්න ගත්තා. “ගිනි අවිත් තියාගෙන මුකුත් කළේ නෑ.” කියලා ඔවුන් අපිට කීවා අප අත ගිනි අවි තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න කීවේ නෑ. ගමේ අයත් සිටි නිසා එහෙම කළා නම් විශාල විනාශයක්‌ වෙන්න තිබුණා. මෙවැනි අවස්‌ථාවක්‌ දුටු පළමු අවස්‌ථාව ලෙස මෙය දැක්‌විය හැකියි.
අපි හවස්‌ වනතුරු එතැන රාජකාරියේ යෙදී සිටියා. පසුව ගමේ අය ලකී අයියාට වෙඩි තියලා කියලා කියනවා ඇසුණා. පසුව විනාඩි 10 කින් පමණ ලකී අයියා මැරිලා” කියලා කියනවා ඇසුණා. ගමේ අය විවිධ දේවල් කියමින් කෑගසනවා ඇසුණා. රාහුල විද්‍යාලයේ ඇතිවූ සිද්ධිය සිදුවී විනාඩි 10 කින් 15 කින් පමණ තමයි ලකී අයියාට වෙඩි වැදිලා කියලා කියනවා ඇසුණේ. ලකී අයියා කියා හඳුන්වා ඇත්තේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා බව පසුව දැන ගත්තා.
මේ සිද්ධිය ගැන රහස්‌ පොලිසියට දෙපාරක්‌ ගොස්‌ කටඋත්තර දුන්නා. ඒ එක්‌ අවස්‌ථාවකදී එදා ගැටුම වෙන විට සිටි අයත් සිටියා. රාහුල විද්‍යාලය අසලදී පුද්ගලයන්ට පහර දුන්නේ ඔවුන් තමයි.
මේ සිද්ධිය ගැන මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවේදී ද ප්‍රකාශ ලබා දුන්නා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌ෂිකරු මෙසේ පැවසීය.
රාහුල විද්‍යාලයේ මැතිවරණ රාජකාරියට යන විට ටී-56 ගිනි අවි අරන් ගියා. එහෙත් එම ගිනි අවි පතොරම්වලින් සන්නද්ධ කර තිබුණේ නෑ.
මෙම සිද්ධිය වන විට එතැන සිටි පිරිස්‌ අතරින් දුමින්ද සිල්වා මහතාව පමණයි හඳුනා ගත්තේ. ඔහු සමඟ සිටි කිසි අයෙක්‌ නිල ඇඳුම් ඇඳ සිටියේ නෑ. එතැන සිටි පිරිස්‌ අතර ගමේ අය කවුද පිටින් පැමිණි අය කවුද කියා දැන හඳුනා ගත්තේ නෑ.
එදා ඡන්ද මධ්‍යස්‌ථානය අසල සිදුවූ සිද්ධිය ගැන තේරීම්භාර නිලධාරියාට දැනුම් දීම් කළේ නෑ. මා වෙත ලබාදී තිබූ සාක්‌කු සටහන් පොතේ මේ පිළිබඳව කිසිවක්‌ සටහන් යොදා නෑ. උසස්‌ නිලධාරීන් කඳවුරේ සටහන් යොදන්න ඇති.
සිද්ධිය සිදු වන විට ගිනි අවි අතේ තියාගෙන සිටි අය සිවිල් ඇඳුමෙන් සැරසී සිටියා.
මේ ගැන පරීක්‍ෂණවලට රහස්‌ පොලිසියට දෙවරක්‌ ගියා. එහිදී දන්න සියල්ල හෙළි කළා. ඒ ප්‍රකාශවල ඇති දේවල් මේ වන විට සාක්‌කි දෙන විට නැති වීමත් අද දින දෙන සාක්‌කි එදා රහස්‌ පොලිසියේ දී දුන් ප්‍රකාශවල නැති නම් ඒවා ලියෑවී නෑ.
නීතිඥ අශෝක වීරසූරිය මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ පැවසීය.
එදා රාහුල විද්‍යාලය අසල පැවති කලබලකාරී තත්ත්වය හේතුවෙන් එහි ඡන්දය පැවැත්වීමට අවහිරතා සිදු වූ බවට කියන්න බෑ.
නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්‌ස මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ පැවසීය.
මෙම සිද්ධියට අදාළව එක්‌ පුද්ගලයෙක්‌ පමණයි හඳුනා ගත්තේ. ඒ දුමින්ද සිල්වා මහතාව. එකී රහස්‌ පොලිසියට මේ ගැන කටඋත්තර දුන්නේ ඔක්‌තෝබර් 15 දායි. නම් වශයෙන් හඳුනා ගත්තේ නැති වුණත් පුද්ගලයන් ලෙසින් හඳුනා ගත් බව රහස්‌ පොලිසිය කීවා.
මෙම අපරාධ සිදුවූ ස්‌ථානයට පැමිණි පොලිස්‌ වාහනයකට එතැන සිටි පිරිස්‌ “හූ” කියා ගල් ගැසුවා.
නීතිඥ අසේල රැකව මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ පැවසීය.
ඡන්ද මධ්‍යස්‌ථානය පිටත ආරක්‍ෂාව සඳහා අප යොදවා තිබුණා. ඡන්ද මධ්‍යස්‌ථානයට පැමිණි අපේක්‍ෂකයන් කවුද කියා ඡන්ද දායකයන් කවුද කියා මගේ දැනීමක්‌ නෑ. සියලු දෙනා ඡන්දය භාවිත කිරීමට පැමිණි අය ලෙසයි සැලකුවේ.
භාරත මහතාගේ ඝාතනය ආරංචිවීමත් සමඟ ගමේ පිරිස්‌ කෑගසනවා ඇසුණා.
ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ පැවසීය.
දුමින්ද සිල්වා මහතා එතැනට වාහනයෙන් බැස විත්ති කරුවන්ගෙන් ප්‍රශ්න වගයක්‌ අසා පහර දෙනවා දැක්‌කා. ඒ සමඟ ඔහු සමඟ පැමිණි පිරිසත් පිරිමි අයෙකුට එළවා එළවා පහර දෙනවා දැක්‌කා.
රාහුල විද්‍යාලය අසල සිදුවූ දේවල් සිදුවීමෙන් පසුව දුමින්ද සිල්වා මහතා පැමිණි පිරිස සමඟ වාහනවල නැගී යන්න ගියා.
දුමින්ද සිල්වා කාන්තාවකට පහර දෙනවා කියා කියන දෙය මුසාවක්‌ නොවෙයි එවැනි බොරුවක්‌ කීමට අවශ්‍ය නෑ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතාගේ නැවත ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ පැවසීය.
ඡන්ද මධ්‍යස්‌ථානයෙන් පිටත ඇතිවූ සිද්ධියක්‌ ගැන තේරීම් භාර නිලධාරිවරයා වෙත දැනුම් දිය යුතු නෑ. මෙම සිද්ධිය ගැන සාක්‌කු සටහන් පොතේ සටහන් නොයෙදුවේ ඊට වේලාවක්‌ නොතිබූ නිසයි.
සාක්‌කිකරුගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වැඩිදුර විභාගය අද (14 දා) කැඳවීමට නියමිතය.