සේර ඇල්ලේ සැඟව ගිය කඳුළු කතාව[PHOTOS]

සේර ඇල්ලේ සැඟව ගිය කඳුළු කතාව[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | දඹුල්ල) –  නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයකි.

එහි පවතින සුන්දරත්වය නිසාම සංචාරකයින් මෙන්ම මංගල ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනු ලබයි.

නමුත් මේ සුන්දරත්වය තුළ සැඟවුණු භයංකාර බව හෙළි වුණේ ඊයේ අසන්නට ලැබුණු අවාසනාවන්ත පුවතත් සමඟයි.

“අපි ඇල්ල ළඟට ගියා ප්‍රීෂූට් එකට ෆොටෝ ගන්න. ඇල්ල උඩ ෆොටෝ අරන් අවසාන ෆොටෝ එක ගන්න පහළට ආවම පය ලිස්සලා වැටිලා වතුරේ ගිලෙන්න ගත්තා. මට එච්චරයි මතක. මගේ ශිරන්ත මට නැති වුණා දෙයියනේ.”

ලග්ගල, ඉලුක්කුඹුර සේර ඇල්ල ප්‍රදේශයේ දී දියේ ගිලී මියගිය කුරුණෑගල, හිරිවත්ත, පන්සියගම පදිංචි කේ.කේ. ශිරන්ත සංජය රත්නසූරිය තරුණයාගේ පෙම්වතිය වන දිල්මි මධූෂිකා හඬාවැටෙමින් කියන කතාවයි ඒ.

ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් ඡායාරූප ඇල්බමයක් සැකසීමට ඡායාරූප ගැනීම සඳහා ගිය ඔවුන් පය ලිස්සා පහළට වැටුණු තරුණයාගේ සිරුර ඊයේ සොයා ගත්තා.

එම ස්ථානයේ සිටි තරුණියගේ මව වන ප්‍රියංකා චන්ද්‍රකාන්ති පැවසුවේ මෙවන් දෙයක්.

“දුවයි පුතයි වතුරට බහින්න යද්දී එක පාරටම වතුරට වැටුණා. වැටුණට පස්සේ මම පැන්නා බේරගන්න. එතකොට මගේ අනිත් දුවත් පැන්නා. අපි දෙන්නත් වතුරට ඇදිලා ගියා. ඊට පස්සේ කැමරා කරන පුතෙක් ඇවිල්ලා ලීයක් වගේ එකක් දැම්මම බේරාගන්න පැන්න මමත් දුවත් ගොඩට ආවා. ඊට පස්සේ එතැනට පිටින් ආපු කට්ටියක් පැනලා දුව අරගෙන ගොඩට ආවා. පුතා එහෙමම යට ගියා.”

වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වන මියගිය ශිරන්ත පෙම්වතිය වන දිල්මි සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 17 වැනිදායි.

මෙම සිද්ධියට අදාළ ඡායාරූප ගත කිරීමේ ශිල්පියා වූ නන්දන අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

“අපි එතැන ෆොටෝ අරගන්න ගමන් තමයි හිටියේ. අපි ප්ලෑන් කරා පහළට බැහැලා වතුර පොඩ්ඩක් ඉහළට අතින් විසි කරනවත් එක්කම පින්තූරයක් ගන්න. එහෙම සූදානම් වෙනකොටම තමයි ලිස්සලා ගියේ.

එතැන පහළට බහිනකොට ලිස්සලා යනවා. එතැන ගොඩක් කට්ටිය 50ක් විතර හිටියා. එතැන හිටපු කට්ටිය වළට පැන්නා. ඒ සමඟ නංගිව ගොඩට ගත්තා මල්ලිට අපි ළඟ තිබුණු කැමරා ආධාරකය දෙන්න හැදුවා. හැබැයි ඒත් එක්කම එයා යට ගියා. බේරාගන්න බැරිවුණා.”

මියගිය තරුණයාගේ දේහය දඹුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)