පස් වසරකට පසුව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් සටනකට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව්වන් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට අද (14 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම තදින් හිරු රශ්මිය වැටී තිබූ ගාලු ක්‍රීඩාංගණයේ සාර්ථක පුහුණු සැසි දෙකකට ඊයේ සහභාගි වුවද ශ්‍රී ලංකා නායකයා එහිදී දක්නට නොලැබුණි.
ඊයේ පෙරවරුවේදී ගාලු ක්‍රීඩාංගණයේදී පැය තුනකට ආසන්න කාලයක් පුහුණුවීම්වල යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අතර නායක ඇන්ජලෝ මැතිව්ස් දක්නට නොලැබුණද ඔහු විවේක සුවයෙන් සිටිමින් මාධ්‍ය හමුවට පැමිණ තරගය පිළිබඳව සුබවාදී අදහසකින් කතා කළත් තමාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබෙන බවද පැවසීය.
බැලු බැල්මට ඇන්ජලෝ මැතිව්ස් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පෙනුනත් මාධ්‍ය සාකච්ඡාවෙන් පිටවී යන විට ඔහුගේ පාදයේ ආබාධයක් ඇති බව පැහැදිලිව දක්නට ලැබුණි., ”මම ගහන එක ෂුවර් නැහැ. ඊයේ ඉඳල කකුලෙ අමාරුව ටිකක් වැඩි වුණා. නමුත් උදෑසන වෙනකම් බලනව ගහන්න පුලුවන්ද කියල.” යනුවෙන් පැවසූ මැතිව්ස් කොර ගසමින් මාධ්‍ය හමුවෙන් පිටවී ගියේය.
මැතිව්ස්ගේ ආබාධය දරුණු නොවුණද ඉදිරියේදී ඔහුට එකදිගට තරගාවලි වැලකටම සහභාගි වීමට සිදුවන බැවින් මෙම තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. මීට සති දෙකකට පමණ පෙර ශාරීරික යෝග්‍යතා සඳහා දුවමින් සිටියදී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව තිබේ. මැතිව්ස් ක්‍රීඩා නොකළහොත් ඔහුගේ ස්ථානය 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇත.
යම් හෙයකින් ශ්‍රී ලංකා නායකයාට අද තරගයේදී විවේක ගැනීමට සිදුවුවහොත් එය බටහිර ඉන්දීය කොදෙව්වන්ට නම් සුබවාදී ප්‍රවෘත්තියක් වනු නිසැකය. මැතිව්ස් නොමැති වුවහොත් ළහිරු තිරිමාන්න වැඩ බලන නායකයා ලෙස ශ්‍රී ලංකා පිල මෙහෙයවන අතර එසේ වුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට නායකත්වය දුන් 14 වැන්නා ලෙස ඉතිහාසයට එකතුවේ.
මීට මාස තුනකට පෙර ගාල්ලේ පැවැති අවසන් ටෙස්ට් තරග දෙකේදීම සම්පූර්ණ දින පහම ක්‍රීඩා කිරීමට නොහැකි වුණත් එම තරග තීරණයත් සහිතව අවසන් විය. එවැනි තත්ත්වයක අද තරගය සඳහා සකසා තිබෙන තණතීරුව පිළිබඳව මැතිව්ස් පවසන්නේ මෙවැනි අදහසකි, ”පසුගිය ටෙස්ට් තරග දෙකට වඩා වෙනස් තණතීරුවක් තමයි මේ තරගයට හදල තියෙන්නෙ. ඒ තරගවලදී වේලාසනම දඟ පන්දු යවන්නන්ට ගොඩක් සහයෝගය දැක්වූවා. නමුත් මේ තණතීරුවේ එහෙම දෙයක් පේන්න නැහැ. කොහොමත් දින පහම තරගය ගියත් නැතත් තීරණයක් තියෙයි.”
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තෙදින පුහුණු තරගයේදී නොදැවී ශතකයක් (105) වාර්තා කළ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන අද ටෙස්ට් වරම් ලැබීමට නියමිත බව ඇන්ජලෝ මැතිව්ස් තහවුරු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබන 131 වැන්නා වන මිලින්ද සිරිවර්ධන කලුතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස මීට මාස හතරකට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස සහ එක්දින වරම් ලැබීය. ඔහු අංක හය පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
”සංගක්කාරගේ අංක තුන පිතිකරු ස්ථාන අපි ළහිරු තිරිමාන්නව යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඔහු පසුගිය කාලයේ ලකුණු අතර නොසිටියත් හොඳ සටන්කාමී පිතිකරුවෙක්. පසුගිය දිනවල ඔහු ගොඩක් මහන්සි වෙලා මේ තරගාවලිය වෙනුවෙන් හොඳ සූදානමක් ලබල තියෙනවා.” යනුවෙන් මැතිව්ස් පවසයි
කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ තරිඳු කෞෂාල් ක්‍රීඩා කරන අතර වේග පන්දු යවන්නන් ලෙස ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා නායකයා අදිටන් කරගෙන සිටියි. ”තරිඳු අපිට පසුගිය කාලයේ හොඳින් කඩුලු ලබා දුන්නා. ඔහු ශ්‍රී ලංකාවේ ඉදිරියට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම නුවන් ප්‍රදීප් හොඳ පන්දු යෑවීමක නිරත වුණා. අපේ පන්දු යෑවීම සමස්තයක් ලෙස හොඳට තිබුණා. නමුත් පිතිකරණ අංශයේ තමයි පසුබෑමක් තිබුණෙ.’ යනුවෙන්ද මැතිව්ස් පැවසීය.
කොදෙව් නායක ඡේසන් හෝල්ඩර් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසුව සහභාගි වන පළමු තරගයද මෙය වන අතර ඔවුන් පුහුණු තරගයේදී පසුබැසීමකට ලක් වුවත් ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේ ශක්තිමත් මනසකින් බව හෝල්ඩර් පවසයි. ”අපි ගොඩක් සතුටින් පසුගිය දින කිහිපයේදී පුහුණුවීම්වල යෙදුණා. අපේ අඩුපාඩු පිළිබඳව කතා බහ කළා. අපේ හොඳ සූදානමක් තියෙනවා.” යනුවෙන් හෝල්ඩර් වැඩිදුරටත් පැවසීය.
තරගයට සහභාගි වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), මිලින්ද සිරිවර්ධන, කුසල් පෙරේරා, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, තරිඳු කෞෂාල් සහ නුවන් ප්‍රදීප්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
ඡේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වෙයිට්, දේවේන්ද්‍ර බිෂෝ, ජර්මේන් බ්ලොක්වුඩ්, කාර්ලොස් බ්රැත්වයිට්, ඩැරන් බ්රාවෝ, රාඡේන්ද්‍ර චන්ද්‍රිකා, ෂේන් දොව්රිච්, සැනෝන් ගැබ්රිල්, ෂායි හෝප්ස්, දිනේෂ් රැම්ඩීන්, කෙමාර් රොච්, මාලන් සැමුවෙල්ස්, ජෙරම් ටේලර්, ජොමෙල් වරිකන්






