FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්. චීනය සම්බන්ධ දැයි සැක

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින්  ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි.

විදේශ රාජ්‍යයක සිට මෙම සයිබරය එල්ල වන අතර එය මාස කිහිපයක සිට දියත් වූවත් මෑතකදී එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටී.

මෙම සයිබර් ප්‍රහාරයට වගකිව යුතු රට කුමක්ද යනුවෙන් සඳහන් නොකළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එවැනි හැකියාවක් ඇත්තේ ලොව රටවල් වලින් අතලොස්සකට බව පැවසීය.

සයිබර් විශේෂඥයෙකු වන නික් සැව්වීඩිස් ප්‍රකාශ කර සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති හැකියාව ඇත්තේ  චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි කිහිපයකටය.

යුධමය අවස්ථාවකදී ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රමවේදය අකර්මන්‍ය කිරිම සහ එරට වාණිජ තොරතුරු අත්පත් කර ගැනීම මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර් ජෙනිංස් කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වූ එකක් බවට තමන්ට විශ්වාස බවයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිදුකළ ප්‍රකාශයක් නිසා චීනය මිට පෙර ඕස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ සඳහා අධික බදු පැනවීමක් සිදුකරනු ලැබීය.