FAST NEWS

24×7 Around the Globe

නායක මැතිව්ස් සහ නායක හොල්ඩර් තරඟාවලියේ අරමුණු පහදයි.

තරිඳු කෞෂාල් පිළිබඳ විමසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු පැවසුවේ, කෞෂාල්ගේ දක්ෂතා පිළිබඳ කණ්ඩායමේ විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් ඔහුගේ පන්දු යැවීම පිළිබඳ වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුව විසඳාගෙන ඉදිරියේදී කණ්ඩායමට එක් කරගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,

“පසුගිය තරගාවලිවලදී තිබුණු පිතිකරණ ගැටලු මගහරවා ගෙන මෙම තරගාවලිය සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි හා අපේ පුහුණුකරුවන් පසුගිය දිනවල පැවැති කාලගුණ තත්ත්වයත් නොතකා මහන්සි වුණා. විශේෂයෙන් ක්‍රිස් ගේල් කණ්ඩායමේ නොමැති එක බ.ඉ.කොදෙව් කණ්ඩායමට ලොකු පාඩුවක් වේවි. නමුත් ඒ තත්ත්වය මත අපි ඔවුන් දුර්වල කණ්ඩායමක් යැයි සිතන්නෙ නෑ. මොකද ඔවුන්ගේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් සිටිනවා. ඒ නිසා ඔවුන්ට හොඳ තරගයක් දෙන්න අපේ සැලසුමක් තිබෙනවා” යැයි පැවසීය.

සිය කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්,

“කණ්ඩායම් දෙකේම තරුණ ක්‍රීඩක එකමුතුවක් තිබෙනවා. මගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. ඒ නිසා ඒ පිළිබඳ විශාල සතුටක් තිබෙනවා. අපිට ලොකු අරමුණක් තිබෙනවා කණ්ඩායමක් වශයෙන් මේ තරගාවලිය ජය ගැනීමට. විශේෂයෙන් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වැනි අපේ පැරණි විශිෂ්ට ක්‍රීඩකයන්ටත් ඒක ලොකු උපහාරයක් වෙය” යැයි පැවසීය.

එළඹෙන 14 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් තරගාවලියෙන් ආරම්භ වන අතර, එයට ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් හා පන්දුවාර විස්ස තරග 2 ක් ඇතුළත්ය. තරගාවලියේ කුසලානය දෙරටින් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ගාෆීල්ඩ් (ගැරී)සෝබර්ස් හා මයිකල් තිසේරාගේ නමින් එක්කරමින් ‘සෝබර් – තිසේරා’ කුසලානය ලෙස නම් කර තිබේ.

මේ සම්බන්ධයෙන්ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ බ.ඉ. කොදෙව් නායක ජේසන් හෝල්ඩර් හා ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙය සිය රටවල්වලින් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකුට කරන විශාල ගෞරවයක් බවයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මයිකල් තිසේරා 70 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, ක්‍රිකට් පිටියෙන් පසු, කලක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු (2005 – 2007) ලෙසද කටයුතු කළේය. එමෙන්ම දශක දෙකකට ආසන්න කාලයක් (1954 – 1974) ක්‍රිකට් පිටියේ රැඳී සිටි බ.ඉ. කොදෙව් කණ්ඩායමේ ගාෆීල්ඩ් සෝබර්ස් සැලකෙන්නේ මෙතෙක් ක්‍රිකට් පිටියේ බිහිවූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසිනි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකෙන්ම නවක ක්‍රීඩකයන් රැසක් එක්වන අතර, කණ්ඩායමේ ද්විත්වයේම පුහුණු කරනු ලබන්නේ තාවකාලික පුහුණුකරුවන් දෙදෙනෙකු විසිනි. ඒ ශ්‍රී ලංකාවේ ජෙරොම් ජයරත්න හා බ.ඉ.කො හි එල්ඩින් බැප්ටිස්ට්ය.